අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් සමත්ව ඇත. ඒ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අබිබවමිනි. ඉන්දු- ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව මෙම ශ්‍රේණිගත කිරීම් එළිදක්වා ඇත. එම තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේදී පිත්තෙන් දැක්වූ දක්ෂතා මත ස්මිත් මෙලෙස ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්විය.



ස්මිත් මෙහිදී ප්‍රසාද ලකුණු 900 සීමාවට පැමිණීමට සමත්වූ අතර, මෙම සටහනේ පෙරමුණේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 919ක් හිමිකර ගත් නවසීලන්ත නායක කෙන් විලියම්සන්ය. කෝලි මෙම සටහනේ  තෙවැනි  ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 870ක් හිමිකර ගනිමිනි. මෙහි සිවුවැනි ස්ථානයේ ඔස්ට්‍රේලියාවේ මානස් ලැබුෂෙන් සිටින අතර, පාකිස්තාන පිතිකරු බාබර් අසාම් හා එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් පිළිවෙළින් පස්වැනි හා හයවැනි ස්ථාන දක්වා ඉහළ නැඟ ඇත. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව සමගින් පැවැති අවසන් ටෙස්ට් තරග දෙකේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ අජින්ක්‍යා රහානේ මෙහි 07 වැනි ස්ථානය දක්වා පහළ බැස ඇත.


තෙවැනි  තරගයේදී ඉන්දීය කණ්ඩායම  වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ චේතේෂ්වර් පුජාරා 08 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණෙද්දී  නවසීලන්තයේ හෙන්රි නිකලස් සුපුරුදු පරිදි 09වැනි ස්ථානයේ පසුවේ.  මේ අතර  තෙවැනි තරගයේදී පිත්තෙන් සාර්ථක  නොවූ ඔස්ටේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මෙහි 10වැනි  ස්ථානය දක්වා පල්ලම් බැස ඇත.