දෙහිවල සහ කොහුවල යන පොලිස් වසම්වල නිවාසවලට ඇතුළුවී දේපළ සොරාගන්නා ලද දෙදෙනකු පෙරේදා (13) ඒ සදහා භාවිත කළ ත්‍රීරෝද රථයක්ද සමග ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී දෙහිවල පොලිස් අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.


මෙම සැකකරුවන් ගල්කිස්ස බඩෝවිට පදිංචිව සිටින වයස 28 හා 45 ක්ද වන අතර අධික ලෙස මත්කුඩුවලට ඇබිබැහිවී සිටින බැවින් ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙලෙස දේපළ සොරාගෙන අලෙවිකර මුදල් උපයා ගන්නා බවටත් මූලික විමර්ශනවලදී හෙළිවී ඇතැයිද පොලිසිය කීය.

මෙලෙස සැකකරුවන් සොරාගෙන ඉතා අඩු මුදලට එම දේපළ දෙහිවල, ගල්කිස්ස, කොහුවල යන ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ට අලෙවි කර තිබියදී සොයා ගනු ලැබ ඇතැයි ද, එම දේපළ අතර ගෑස් සිලින්ඩර්, ගැස්ලිප්, වාහනවල ටයර්, අමතර කොටස්, පාපැදි, සපත්තු වර්ග, ලැප්ටොප් පරිගණක ඇතුළු දේපළ සොයා ගනු ලැබ ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

- එච්.එම්. ධර්මපාල -