ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රෝයල් පාක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුවූ ජූඩ් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ නමැත්තා විදේශගත වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන ජුනි 11 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ 19 තීන්දු කළේය. 
මොහු මෛත්‍රිපාල ජනපති ධූර කාලයේ අවසන් සතියේදී ජනපති සමාව ලැබීම සම්බන්ධයෙන් විවිධ තොරතුරු හුවමාරුවූ අතර පසුව කියැවුනේ ඔහු සමාව ලද විගස සිංගප්පූරුවට පළාගොස් මැලේසියාව දෙසට ගමන් කළ පසු ඉන් එහා කිසිදු තොරතුරක් නැති බවයි.

 රෝයල් පාක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වූ ජූඩ් ශාමන්ත ඇන්තනී ජයමහ නමැත්තා විදේශගතව සිට නැවතත් ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවට පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් මෙම අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අධිකරණය නියම කර තිබේ.  


නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර, ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලමින්  ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව දුන්නේය.  මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ ඊයේ (19) කැඳවිණි.   පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ජනාධිපති සමාව ලැබූ විගස ජූඩ් ශ්‍රාමන්ත ජයමහ නමැත්තා විදේශගත වූ බවත් ඔහු මේ වනවිට යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවට තොරතුරු අනාවරණය  වී තිබෙන හෙයින් ඔහුට රටින් පිටවීම වළක්වාලමින් නඩු විභාගය ආරම්භයේ දී නිකුත් කළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කළේය.


මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති 
මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඊයේ පෙනී නොසිටි බැවින් කරුණු සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ  නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය. ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුනි මස 10 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ සිටිති. ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.


දෙවැනි වගඋත්තරකරු රෝයල් පාක් ඝාතන නඩුවේ විත්තිකරු වේ.  ඔහුට නියම කර ඇති මරණ දඬුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දී ඇති බව  මාධ්‍ය මගින් දැන ගන්නට ලැබිණි.  ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් ලබාදීමට බලයක් තිබුණ ද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබිණි.  මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවේ. එබැවින් මෙම  පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙස ද තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.


එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවනතුරු ජනාධිපති සමාව දීම අත්හිටුවන ලෙස ද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.  පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.   අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන්  ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.  ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.


-තිළිණි ද සිල්වා -