කල් යමින් තිබෙන පළාත් සභා මැතිවරණය ඕනෑම මොහොතක පැවැත්වීමට සුදානම් බවත්, ඊට අදාළ ක්‍රමවේදය පාර්ලිමේත්තුවේ සිටින පක්ෂ විපක්ෂ කණ්ඩායම් විසින් සකස් කරදිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.   පළාත් සභා ක්‍රමය රටේ ව්‍යවස්ථාව තුළ තිඛෙන බවත්,
පළාත් සභා පනතක් සේම පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ  පනතක්ද තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.  පළාත් සභා යාන්ත්‍රණය ක්‍රියාත්මක වුවත් පළාත් සභාවලට මහජන නියෝජිතයන් නොමැති බවත්, මේ නිසා මහජන නියෝජිතයන් නොමැතිව පළාත් සභා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මැතිවරණ කොමිසම කිසිසේත්ම එකඟ නොවන බවත් ඒ මහතා පවසා සිටියේය.


පළාත් සභාව පැවැත්වීමේ කටයුතු සිදුකිරීම ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ කාර්යභාරයක් බවද හෙතෙම පවසා  සිටියේය.  පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නව පනතක් සම්මත වුවත් ඒ පනතට අදාළ සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවද නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.  නව පනත පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන නිසා පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට නොහැකි වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.  මේ හේතුවෙන් නව පනතට අනුව සිමා නිර්ණය කටයුතු සිදු කළ යුතු බවත්, එසේ නොමැති නම් පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන බවට සංශෝධනයක් සිදු කළ යුතු බවත් හෙතෙම පවසා සිවියේය.  නව පනතට අනුව නිර්ණය කර මැතිවරණය පැවැත්වීමට තවත් වසර  දෙකක් පමණ ගතවිය හැකි බැවින් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු කළ යුතු බව මැතිවරණ කොම්සමේ ස්ථාවරය බවද සභාපතිවරයා සඳහන් කළේය.


-ඉන්දික හේවාවිතාරණ-