රන්ජන් රාමනායකව සිව් වසරකට බරපතළ වැඩසහිතව සිරගත කළේය. ඒ අධිකරණයට හිතාමතාම අපහාස කළේය යන චෝදනාව මතය. බන්ධනාගාරයට රැගෙන යන අතරතුර රන්ජන් මාධ්‍ය හමුවේ කියනුයේ තමා හොරකම් කර නැති බවත්, කුඩු විකුණා නැති බවත්ය. එමෙන්ම තමා හිරේ යනුයේ ජනතාව වෙනුවෙන් බවය.
 
රන්ජන් යනු අවංක මෝඩයෙකි. ඔහුට නළුවා සහ දේශපාලකයා හඳුනා ගැනීමට නොහැකි විය. පාර්ලිමන්ට් ජෝක් සහ ඇත්ත ජෝක් වටහාගත නොහැකි විය. ඔහු සැමවිටම ජීවත් වූයේ කැමරාවක් ඉදිරිපිටය. ඇතැම් අර්ථ දැක්වීම් අනුව එය ඔහුගේ අවංකකමත් රහසිගත කිසිවක් නැති බවත් හෙළිකරන කැඩපතක් විය. එහෙත් ඇත්ත නම් ඔහු දේශපාලනය තුළද නළුවෙක් විය. නළුවකු ලෙස ගත්තද රන්ජන් අසාර්ථක නළුවෙකි. ඒ අසාර්ථකකම ජයගත හැකි හොඳම අවස්ථාව ඔහු පැහැර හැරියේ සැබෑ ජීවිතයෙත් රඟන්නට ගොස්ය.

හඬ පට සිද්ධියේදී පවා ඔහු තම වරද පිළිගන්නවා වෙනුවට එය වීරකමක් ලෙස පෙන්වන තැනට තල්ලූ විය. එයින් රජයේ තනතුරු දරන ඉහළ නිලතලවල අය හෑල්ලූ විය.
එහෙත් රන්ජන් ඒ සියල්ල සැලකුවේ තමාගේ වීරකම් ලෙසය. ගැහැනියක් සමග ලිංගිකත්වය කතා කිරීම පටිගත කිරීම පවා ඔහුගේ වීරකමට හේතු විය. ඒ කිසිවකින් ඔහු වෙනස් වන්නට උත්සාහ නොගත්තේය.

රන්ජන් වයසත් සමග පරිණත විය යුතු වුවත් වූයේ ගැටවරවීමට උත්සාහ කිරීමය. නිතර නිතර බාල රංගනවල නිරතවීමය. සැබැවින්ම එය කනගාටුවකි. ඔහු දේශපාලනයට ආ මුල් කාලයේ ඉතා හොඳ සංඛ්‍යා දත්ත සමග කතා කරන කථිකයෙක් විය. හොඳ කියවන්නෙක් විය. එහෙත් ඔහුට බලය සමග ඉදිරිය වෙනුවට පෙනුණේ පසුපසය.

යහපාලන ආණ්ඩුව තුළ ඔහු හොරු අල්ලන ෂර්ලොක් හෝම්ස් විය. පොලිසිය සමග ඔහුද කඩා පැන්නේය. දක්ෂ රහස් පරීක්ෂකයකු වූ ශානි පවා රන්ජන්ගේ පරීක්ෂණ හමුවේ හෑල්ලූ වූයේ හඬපට ප‍්‍රසිද්ධවීමත් සමගය. අදටත් ශානි හිර කරන ප‍්‍රධාන තැනක් වී ඇත්තේ රන්ජන් ඇටවූ උගුලය. රන්ජන් තනිකඩ යැයි තමාට රකින්නට දෙයක් නැතැයි කියමින් ඔහු සෙල්ලම් කළේ වෙනත් පවුල්ය. පිරිසක් රකින පුද්ගලයන්ටය.

වඳුරාට දැලි පිහිය අහුවූ ගාණට රන්ජනුත් තම දේශපාලන තනතුර ‘වන් ෂොට්’ කෙනෙක් නිර්මාණය කරන්නට යොදා ගත්තේය. කැමරාව නැතුව කළ හැකි කිසිදු කාර්යයක් ඔහුට නොවීය. යට ඇඳුම අඳින තැන සිට ඔහු කැමරාව මෑනුවේය.

ඕනෑම අයෙකුට විවිධ වර්ගයේ මේනියා තිබිය හැකිය. එහෙත් කැමරාව හරහා ආ රන්ජන්ට කැමරාවෙන් මිදෙන්න බැරි රෝගය වැලඳුණේය. ඔහුට එතරම් කැමරාව මැජික් වූයේ ඇයිද යන්න හරි පුදුමය.

නොබෝදා ඔහු තමාට ලැබුණු මුදල් බෙදා හැරියේය. බන්ධනාගාරයට යන අතරතුර ඔහු කීවේ එම මුදල්වලින් තවම ලබාදී ඇත්තේ ඉතා සුළු මුදලක් බවය. සල්ලි ගන්න පොරකා මැරෙන රටක රන්ජන්ගේ මුදල් ගන්න මිනිසුන් දස දහස් වාරයක් හිතන බව ඉතා පැහැදිලිය. චේතනාව කොතරම් හොඳ වුවත් රන්ජන්ගේ බාල වැඩ ඇත. ඒ නිසා කොතෙක් කලාකරුවන් අසරණ වී සිටියද? රන්ජන් ළඟට එන්න බයය. අකමැතිය. කලාකරුවන්ට බෙදන්නට මුදල් ටිකක් ගන්නට ප‍්‍රියංකර සහ දිල්හානි ආ වීඩියෝවක් ඔහු මුදා හැරියේය. එය බලන විට දැනෙන සතුට එක් සැණින් ඔහු කැත කරනුයේ කාගේවත් නමක් නොකියන බව ප‍්‍රසිද්ධ නොකරන බව කියමින්ම සූක්ෂ්ම ලෙස ඉඟි සැපයීම නිසාය. ඔහු එම වීඩියෝව තුළ ප‍්‍රියංකරගෙන් අසනුයේ ඔය ලිස්ට් එකේ ‘විදුලි දුම්රියේ’ ඉන්නවද? අනේ මට නිතර නිතර කතා කරලා සල්ලි ඉල්ලූවා යන්නය. දැන් ‘විදුලි දුම්රියේ’ නොදන්නේ කවුද රන්ජන්. එම ලිස්ට් එක නොබලා මුදල් දෙන තරමට රඟපානුයේ ඇයි? රන්ජන්ගේ සල්ලි දන්සල ගැන අගය කොට ලිපියක් ලියන තැනට හිත හදාගෙන සිටිද්දී එම වීඩියෝව දැක සියල්ල අහකට කරන්නට හිත්විය. මේ සැබෑ රන්ජන්ය. ඔහු වෙනස් නොවන රන්ජන්ය.


කිසිවෙක් අපට අවැසි ලෙස සිටිය යුතු නැත. එහෙත් ඔහු සිටින ආකාරය අනුව එය වැදගත්ය. මේ රටේ වැරදි නැත්තේ මොන ක්ෂේත‍්‍රයද? එය පාර්ලිමේන්තුවේ සිට අධිකරණය දක්වාමත් අන් හැම ක්ෂේත‍්‍රයකටමත් පොදුය. එමෙන්ම හැම ක්ෂේත‍්‍රයකම ඉතා හොඳ නීතිගරුක විනයගරුක පිරිස්ද සිටිති. එය දේශපාලනයටත් පොදුය.

එවන් වටපිටාවක අධිකරණය යන විෂය තුළ පවා එහි අඩුපාඩු කතා කළ හැකි විය යුතුමය. දැන් ඕනෑම අයෙකුට රන්ජන් කළේ එය යැයි තර්ක කළ හැකිය. එහෙත් එය අපහාසයක් ලෙස තීන්දු වී ඔහුට බරපතළ සිරදඬුවමක් ලැබී ඇත.

රන්ජන්ව එජාපය පවා පාවිච්චි කළේ පක්ෂය පිනවන්නෙක් ලෙස තබා ගැනීමටය. ඔහු නියෝජ්‍ය ඇමතිකම් දැරුවට ඔහු කළ කිසිවක් නොවීය. ඔහු කළේ පක්ෂය පිනවීමය. ඔහුව සැම තබා ගත්තේ අතේ දුරින්ය. බොහෝ අය ඔහුව ඇසුරු කරන්නට බිය විය. එනම් ඔහු මන්ත‍්‍රීවරයෙකුට වඩා පැපරාසියෙකු විය. රන්ජන් හිරේට රැගෙන යන විට ඇතිවන්නේ කනගාටුවකි. එයට හේතුව ඔහු හිරේ යන්නේ වැඩකටම නැතිව නිකං වාචාලකම් දෙඩවීම නිසාවෙනි. රන්ජන් අභිනයන් වෙනුවට අභ්‍යාස කරනුයේම කථනයන්ය.

දේශපාලනය ඉහවහා ගොස් ඉස්මොල්ලේද ගිය ජැක්සන් ඇන්තනි ඒ සැණින් අවබෝධ කරගත්තේ මේ ඇති කියාය. ජැක්සන් දක්ෂ නළුවෙක් නිසා චරිතය මාරු කරන්නට ඔහු දත්තේය. එහෙත් රන්ජන් ජනප‍්‍රිය නළුවෙක් නිසා නිතරම ජනප‍්‍රියකම රැකගන්නටම වලි කෑවේය. ඒ නිසාම ඔහු අද හිරබත් කන්නේය. රන්ජන්ට ඉක්මනින් එළියට ඒමට හැකිවේවායි පතමු. එමෙන්ම ඉක්මනින්ම තමාගේ විකාර ස්වභාවය වෙනස් කරගැනීමට හැකිවේවායිද පතමු. වළකට වැටීම මොළයට ලාභයක් වුවත්, රන්ජන් වැටුණු වළවල්වල හැටියට ඔහුට අත්වූ ලාභයක් නම් නැති තරම්ය.

ටිරාන් කුමාර බංගගමආරච්චි (රාවය)