ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොරෝනා එන්නත් තොග රටවල් 6 කට පිටත් කර ඇති බවත් රටවල් 3 ක් සඳහා අවසන් නිෂ්කාෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් අද (19) සන්ධ්‍යා කාලයේ ඉන්දියානු විදේශ සබඳතා අමාත්‍යංශය නිල වශයෙන් දන්වා ඇත.
ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කර තිබුනේ භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට බදාදා සිට ආධාර යටතේ ඉන්දියානු කොවිඩ් -19 එන්නත ලබා දෙන බවයි .

ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මොරිෂස් සම්බන්ධයෙන්, අවශ්‍ය නියාමන නිෂ්කාශනයන් තහවුරු කිරීම සඳහා ඉන්දියාව අවසන් අදියරේ සිටින බවද එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව ආසන්න වශයෙන් ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට තොගයක් එවීමට හැකිවනු ඇතැයි දන්වා ඇත.
ඉන්දියාවේ මේවනවිට කොරෝනා එන්නත් දෙකක් නිපදවා ඇත. එකක් වන්නේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා බලපත්‍රය යටතේ ඉන්දියාවේ සේරම් ආයතනය නිපදවන කෝවිෂීල්ඩ් එන්නතයි. එය සාර්ථකත්වයෙන් ඉහළ අගයක් ගන්නා අතර රට පුරා සිටින පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින් සඳහා එහි එන්නත් කිරීම පසුගිය සෙනසුරාදා සිට ඉන්දියාවේ ඇරඹිණි.
දෙවැනි එන්නත වනුයේ කොවැක්සින්ය. එය  නිෂ්පාදනය කරනු ලබන්නේ භාරත් බයෝටෙක් නමැති ඉන්දීය පර්යේෂණ ආයතනයයි. එම එන්නත තවම පර්යේෂණ මට්ටමේ පවතී. කෙසේ වෙතත් හදිසි අවශ්‍යතා මත එම එන්නත ජනවාරි මුල් සතියේ ඉන්දියානු රජය බෙදාහැරීම සදහා අනුමත කළ අතර එම තීරණය විද්‍යාඥයින්ගේ නොසතුටට හේතු විය.
අසල්වාසි රටවලට ඉන්දියාව බෙදාහරිනු ඇත්තේ මෙකී දෙවන එන්නත බවට වාර්තා පළව තිබේ.