රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිදහස් කරන තුරු තමා කළු පැහැති  සාටකයක් පැළඳ සිටින බව පවසමිත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා කළු පැහැති සාටකයක් පැළඳ ගැනීම නිසා මැති සබයේ උණුසුම් තත්වයක් ඊයේ (20) ඇතිවිය.   හරින් සාටකය පැළඳගත් අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විවිධ දේ කියමින් හරින්ට  දෝෂාරෝපණය කරන්නට වූහ. හරින්ද ඊට ප්‍රතිචාර දැක්වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බැණ වදිමිනි.  හරින් රන්ජන් වෙනුවෙන් පෙනීසිටිමින් ජනාධිපතිවරයාටද විවිධ චෝදනා නැගුවේය. මේ කතාවලදී ඔහු නිතර උදාහරණයට ගත්තේ හිටලර් හා චාලි චැප්ලින්ය. හරින්ගේ මේ ගැහිල්ල මහින්දානන්ද අලුත්ගමගේට නම් ඇල්ලුවේ නැත. වහා නැගීසිටි අලුත්ගමගේ හරින්ට දිගට හරහට දෙහි කපන්නට වූයේ ආණ්ඩු පක්ෂයේ 
මන්ත්‍රීවරුන් උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේය.


‘හරින් මන්ත්‍රීතුමා ඔබතුමා එකක් දැන ගන්න. රන්ජන්  හිරේට දැම්මේ ආණ්ඩුව නොවෙයි. ගරු අධිකරණය රන්ජන් හිරේට ගියේ වෙන හේතුවක් නිසා නොවෙයි. එයාගේ කට හින්දයි. අධිකරණය දුන්න තීන්දුවකට සාටක දාන්න පුළුවන්ද. අද තියෙන අධිකරණය දෙන තීන්දුවලට සාටක දන තුට්ටු දෙකේ හිඟන විපක්ෂයක්. ඔය අද සාටක දානනේ අධිකරණයට යන්න ළඟ කට්ටියයි' අලුත්ගමගේ ෙ කීවේය.  අලුත්ගමගේ ගේ චෝදනාව තවමත් අවසන් නැත.  ‘අපේ නායකයන්ට අද මඩ ගහන මහත්වරුන් එදා රනිල්ටත් මඩ ගැහුවා. බුදු සර් මගේ සර් අයි ලව් යූ කියල  යමින් එතූමාට මිස්ටර් බීන් කියලා හොඳටම ගැහුවා. හරීන් දැන් ළගකදී ඉඳලා සිංදු කෑලි වගයක් දානවා. කවුරු හරි  සින්දු ලියන දෙන පාටයි. සින්දු විතරක් නොවෙයි දැන් එතුමාට සාටක මහලා දෙන කට්ටියකුත් ඉන්නවා. අලුත්ගමගේ කීවේ මුළු සභාවම සිනා සයුරේ ගිල්වමිනි.


‘බැඳුම්කරේ අය යන්න බලාගෙන ඉන්න. ඒ අය හිරේට  ගත්තු නැති එකයි ෆේල්. දැන් යන්න දත කට මැද ගන්න. ජනතාව ගෝඨාභය පත් කළේ හොරකම් කරන්න  නොවෙයි.” අලුත්ගමගේ කීවේ උපහාසාත්මක ස්වරයෙනි.  මේ අවස්ථාවේදී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා සීනි වංචාවක් ගැන කතාවක් කීව්වේය. මෙහිදී නලීන් දෙසට හැරුණු අලුත්ගමගේ ‘ඔව් .. ඔව්. කසිප්පු පෙරන සීනි අවශ්‍ය වෙනවා' යැයි කීවේ සිනාසෙමිනි.   මීළඟට කතා කිරිමට නැගී සිටියේ බදුල්ලේ චාමර සම්පත්ය. ඔහු කතාව ඇරැඹුවේ අනුර කුමාර දිසානායකට චෝදනාවක් එල්ල කරමිනි. අනුර උදෙන්ම මෙතැනට ඇවිල්ලා මොනව හරි දෙයක් ටීවී එකට එක දාගෙන යනවා. එයා මෙතැන නැහැ. අපි මෙතැන නරි නාවනවා.' චාමර කීව්වේ චෝදනාත්මක ස්වරයෙනි.



යළිත් කටහඬ අවදි කළ චාමර ‘රන්ජන් රාමනායක කියන්නෙ අන්දරේගෙ මුනුබුරායි. එයා ඔක්කොම අන්දවලා අධිකරණය අන්දවන්න ගිහින් කෙළවගත්තා. රන්ජන් හිරේට ගිය එකත් විපක්ෂය ආණ්ඩුව මත පටවන්න හදනවා. හරින් අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එක එක නම් කියනවා. ඔබතුමාලා දන්නවාද හරින්ට කියන නම. එයා සහීඩි හරින් ප්‍රනාන්දු. ඒ එක්කම හරින් ජනාධිපතිතුමාට ශාප වෙනවා කියලා කතාවක් කිව්වා. ඇයි එතුමා ගෑනු අතහැරියාද. එතුමා තමයි මේ රට බේරා දුන්නේ. එහෙම මිනිසුන්ට ශාප වදිනවද. ශාප වෙන්නේ බදුල්ලෙන් ඡන්දේ අරගෙන ඒ මිනිස්සු අමතක කරලා කොළඹට පැන්න  කෙනාටයි" යැයි පැවැසුවේ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම් මධ්‍යයේයි.


ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහජන ආරක්ෂක ඇමැති සරත් වීරස්කරට ඊයේ මැති සබයේදී යළිත් චෝදනාවක් කළේ ඔහු සුරංගනා කතා කියන බව පවසමිනි. ‘මහජන ආරක්ෂක ඇමැති දැන් අමුතු කතා කියන්න පටන්ගෙන තියෙනවා. අපේ ඇඟත් මොකද වෙනවා. දැන් එයා කියනවා වයස දහ අටට වැඩි අයට හමුදා පුහුණුව දෙන්න ඕනලු. සෙබළකු හදන්න මිලියනයක් විතර යනවා. සෙබළු ලක්ෂයක් හදන්න කෝටි හත්දහස් පන්සියයක් යනවා. මේක අපිට කරන්න පුළුවන් වැඩක්ද? මේ වගේ සුරංගනා කතා නොකියා වගකීමෙන් වැඩ කරන්න කියලා මම එතුමාට කියනවා' ෆොන්සේකා කීවේ තරමක් උස් හඬිනි. මේ අතර බදු නියෝගයක් සම්මත කරගත් ආකාරය වැරැදි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාට චෝදනා කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.


 ‘මම ඒ නියෝගයට විරුද්ධයි කිව්වා. ඒ වෙලාවේ කතානායකතුමා මගේ දිහා බැලුවේවත් නැහැ. සම්මත කරගත්තා’ කිරිඇල්ල තව දුරටත් කීවේය.


ඊට ප්‍රතිචාර දැක්වූ කතානායක අනිත් දවසෙ මම ඔබතුමා දිහා බලාගෙනම ඉන්නම්” යැයි පැවැසුවේ මඳ සිනාවක්ද පළ කරමිනි. කතානායක කී ඒ කතාවට කිරිඇල්ලටද හිනාය.


-සුජීත් හේවාජුලිගේ -