ගල්කිස්ස මංසන්ධියේ පච්ච කොටන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවකු නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි ආනයනික ඇලි ඉබ්බෙකු,  ග්‍රීන් ඉගුවානා උරගයකු, විල් මුවකුගේ අං තට්ටුවක්, ගෝන අං තට්ටුවක් ඇතුළු සජීවී සතුන් ඇතුළු අජීවී ද්‍රව්‍ය රැසක් අත්තිඩිය වනජීවී අඩවි කාර්යාල නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණැයි එම කාර්යාලීය ප්‍රකාශකයෙක් පැවැසීය.

සැකකරු හා නඩු භාණ්ඩ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු
ජීවී සතුන් දෙහිවල සත්වෝද්‍යානයට බාරදෙන ලෙසත්, සැකකරුට රුපියල් 3,75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත් චමින්ද ලියනගේ මහතා ඉකුත් 22 වැනිදා නියෝග කළේය.

මෙලෙස දඩ නියම කරනු ලැබුවේ ගල්කිස්ස, ගාලු පාර, නො. 244/1/1 paradise tattoo Shop' හිමිකරුවන නිර්මාල් රුද්‍රිගු ඩයස් නමැත්තකුටය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සජීවී විදේශීය සතුන් සත්වෝද්‍යානය වෙත භාරදෙන ලෙසටත් අජීවී සත්ව කොටස් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්කරන ලෙසත් නියෝග කරනු ලැබිණැයිද එම ප්‍රකාශයා පැවැසීය.

මෙම වැටලීම වනජීවී නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ අතර, වැටලීමේදී අනවසරෙන් සන්තකයේ තබාගෙන සිටි, ලංකා සිතියම්, බෙල්ලකුගේ කවඩි 01 ක්, තල්මසකුගේ කශේරුකා අස්ථි කොටසක්, වඩු කුරුලු කුඩු එකක්, සීපෑන් වර්ගයේ කොරල් ශාකයක්, අජීවී කෘමි සතුන් එකසිය දෙකක් අඩංගු පෙට්ටි හයක් ඇතුළු දෑ මෙලෙස නීති විරෝධී ආකාරයට සන්තකයේ හෝ පාලනයේ තබාගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කර තිබුණ අතර, මොනයම් සතකු ලංකාවට ආනයනය කිරීම නීති විරෝධී බවත්, විශේෂයෙන් ආක්‍රමණශීලී සතුන්, මාංශ භක්ෂක සතුන් රැගෙන ඒම හෝ ස්වභාවික පරිසරයට මුදාහැරීම නොකළ යුතු බවත් එම නිලධාරිහු පවසති.

මෙම වැටලීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ නීතිඥ ලලිත් කුමාර මහතාගේ උපදෙස් මත බෙල්ලන්විල අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක එච්. සමන් ලියනගම වන සත්ව අඩවි ආරක්ෂක ජානක යන මහත්වරුන් හා වන සත්ත්ව අඩවි සහකාර එරංග රත්නායක, වන සත්ව නියාමක යසන්ත සොයිසා, ක්ෂේත්‍ර සහයක මිතුන්, රියදුරු නිශ්ශංක යන නිලධාරින් මෙම වැටලීම සිදුකළහ.

-  එච්.එම්. ධර්මපාල -