ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට කඩා වැදී එහි තිබූ රුපියල් කෝටි 4ක රන් බඩු හා මුදල්
පැහැරගෙන ගිය කොල්ලකරුවන් කොටුකර ගැනීම සඳහා පැවැති විමර්ශනවලදී පොලිසියට මෙතෙක් කොටුකරගත
නොහැකිව සිටි ගිනිඅවි පෙන්වා “කාගිල්ස් ෆුඩ් සිටි” කොල්ලකෑ ලෝක හොරු දෙදෙනකු අල්ලා ගැනීමට
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ඉකුත්දා හැකි විය.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරු විසින් කදාන ෆුඩ් සිටිය කොල්ලකෑමේ සිද්ධියේ
මෙතෙක් අබිරහසක්ව පැවැති කාන්තා ඝාතනයක්ද හෙළි කර ගැනීමට කොට්ඨාස නිලධාරීන්ට හැකි විණි.

ගිනිඅවි පෙන්වා කරන ලද ෆුඩ් සිටි කොල්ලකෑම් 6ක් මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර වැලිපිල්ල
කාගිල්ස් ෆුඩ් සිටිය, පේරලන්ද කාගිල්ස් ෆුඩ් සිටිය, රම්මුතුගල කාගිල්ස් ෆුඩ් සිටිය, කිරිල්ලවල කාගිල්ස් ෆුඩ්
සිටිය, කොකිස්කඩේ හන්දියේ ෆුඩ් සිටිය, කදාන කාගිල්ස් ෆුඩ් සිටිය මොවුන් විසින් කොල්ලකෑ ෆුඩ්සිටි අතරට
අයත් වේ. ඊට අමතරව ගුරුතලාව ග්‍රාමීය බැංකුව හා කිරිල්ලවල සණස බැංකුවද මොවුන් විසින්
කොල්ලකා ඇත.

ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට කඩාවැදී එහි තිබූ කෝටි හතරක රන් ආභරණ හා මුදල්
කොල්ලකෑම පිළිබඳ කරන ලද විමර්ශන සඳහා බස්නාහිර පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු
තෙන්නකෝන් මහතා විසින් ගම්පහ පොලිසියට අනුයුක්ත අපරාධ විමර්ශනයට හා කොට්ඨාස අපරාධ විමර්ශන
ඒකකයට අමතරව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, බස්නාහිර උතුර පෑලියගොඩ අපරාධ

විමර්ශන කොට්ඨාසය, බස්නාහිර දකුණ මිරිහාන අපරාධ විමර්ශන කොට්ඨාසය හා බස්නාහිර පළාත් බුද්ධි
කොට්ඨාසයද අනුයුක්ත කරන ලදී.

මේ අනුව සී.සී.ටී.වී. කැමරාවලින් ලබාගත් පෙර කොල්ලකෑම් හා ගම්පහ කොල්ලකෑමේ සිද්ධියේ රූපරාමු
හා බුද්ධි තොරතුරු ඔස්සේත් විමර්ශන කණ්ඩායම් වෙන වෙනම විමර්ශන සිදු කරන්නට වූහ.

මේ සඳහා මොවුන් කොල්ලකෑම් සිදුකොට බන්ධනාගාර ගත වූවන් හා බන්ධනාගාරවලින් ඇප මත නිදහස්ව
පැමිණි පුද්ගලයන් ගැනද අවධානය යොමු කරන්නට විය.

මේ අතර කැලණිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාද කලක් තිස්සේ අපරාධ වාර්තා
කොට්ඨාසයේ බුද්ධි තොරතුරු උපකාර කරගෙන පුළුල් විමර්ශනයක් සිදු කරමින් සිටි අතර ඊට හුදෙක් හේතු
වූයේ කැලණිය කොට්ඨාස තුළ දිගින් දිගටම සිදුකරනු ලැබූ ෆුඩ් සිටි කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන්
අනාවරණය කර ගැනීමය.

එහෙත් මෙම සැකකරුවන් කොටුකර ගැනීමට නොහැකිව තිබූ අතර ගම්පහ මූල්‍ය ආයතනයේ කොල්ලකෑමත් සමඟ
ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අවධානය මේ සඳහා යොමු වූ අතර ඔහු කැලණිය කොට්ඨාස අපරාධ
විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා මහතා කැඳවා ෆුඩ් සිටි
කොල්ල කෑ සැකකරුවන් ගම්පහ මූල්‍ය ආයතනයත් කොල්ලකන සැකය මත ඔවුන් වහා අත්අඩංගුවට ගත යුතු
බවත් නියෝග කරන ලදී.

ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් දෙකක් මේ පිළිබඳ විමර්ශන ඇරඹි අතර ලබාගත් බුද්ධි තොරතුරු
මාර්ගයෙන් එක් පුද්ගලයකු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට අනාවරණය කර ගන්නා ලදී.

එම පුද්ගලයා සමඟ තවත් අයකු මිනුවන්ගොඩ ප්‍රදේශයේ රුපියල් ලක්‍ෂ 22ක කොල්ලකෑමේ සිද්ධියක්
සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූ අයවලුන් බවද මේ විමර්ශනයේදී අනාවරණය විණි.

පසුව සොයා බැලීමේදී රනිල් නමැති එක් අයකු ඒ වනවිට බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව පැමිණ ඇති
බවත් ඔහු සිය නිවෙසට නොපැමිණෙමින් සැඟව සිටින බවත් හෙළි කරගත හැකිවූ අතර පසුව පොලිස් නිලධාරීන්
විසින් උපක්‍රමශීලීව සැකකරු හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී කොටුකර ගන්නා ලදී.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ ඔහු සමඟ කොල්ලකෑම්වල යෙදුණු ඔහුගේ සගයා

බන්ධනාගාරය තුළ ගෙල වැලලාගෙන මියගිය බවත්ය.

මේ අතර කදාන ෆුඩ් සිටිය කොල්ලකෑමේදී ඇතිවූ සිද්ධියකින් එහි සේවය කළ ආරක්‍ෂක නිලධාරිනියක්ද
මරණයට පත්වී ඇත.

ෆුඩ් සිටි වසා දමන ලද මොහොතේ ගිනි අවි පෙන්වා ඊට ඇතුළු වන මොවුන් එලෙස ඇතුළුවීමට උත්සාහ
කරද්දී කාන්තා ආරක්‍ෂක නිලධාරිනියට පහරදී තල්ලු කිරීම නිසා ඇය බිම වැටී හිසට තුවාල සිදුවී තිබිණි.
පසුව ඇය රෝහල්ගත කර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ දින 40ක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඇය
මරණයට පත්වී තිබේ.

මෙම මිනිස් ඝාතනය ඇතුළු කොල්ලකෑම් ගණනාවකට මෙම සැකකරු සම්බන්ධව තිබුණද ඔහු කොටු කර ගැනීමට
පොලිසිය අපොහොසත් වී තිබිණි.

මෙම ප්‍රධාන සැකකරුට සහාය දුන් පුවක්පිටිය, අවිස්සාවේල්ල පදිංචි තවත් සකකරුවකුද පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබිණි.

මොවුන් විසින් ගුරුතලාව ග්‍රාමීය බැංකුව හා වැලිවේරිය පොලිස් වසමේ ඇඹරලුව ග්‍රාමීය බැංකුවද
කොල්ලකෑමට තැත් කර ඇති බව ප්‍රශ්න කිරීමේදී හෙළි කර ගත හැකි විය.

සැකකරුගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරුගේ මවගේ කොටුගොඩ නිවෙසේ පිටුපස වළ
දමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා බෝර 12 ගිනිඅවි දෙකක්, ගල්කටස් ගිනිඅවියක් හා
එම ගිනිඅවිවලට යොදන පතරොම් 35ක්, හිස් පතරොම් කොපු 15ක්ද සොයා ගැනීමට හැකි වූ අතර මෙම
ගිනිඅවි කොල්ලකෑම සඳහා යොදා ගන්නා ආයුධ බවද ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත. මොවුන් කොල්ලකෑම්
සඳහා උපයෝගි කරගත් යතුරුපැදියද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ
කැලණිය  නිලධාරීහු මෙහෙයුම සිදු කළහ.

කීර්ති මෙන්ඩිස්, කැලණිය _ කුසුම් එස්. හැන්නදි, පෑලියගොඩ - උපුල් ඒ. බියන්විල, කොළඹ - ජයසිංහ