සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි කොවිඩ් ආසාදිතයකු බැව් තහවුරු වීමත් සමඟ පාර්ලිමේන්තු
කොවිඩ් පොකුර තවත් ඉහළ ගියේය.
 
කොවිඩ් ආසාදිත වූ මුල්ම කැබිනට් ඇමැතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වන්නීය. ඇමැතිවරියට සිදුකළ
ඇන්ටිජන් පරීක්ෂණයේදී සහ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇය ආසාදිත බව තහවුරු වී ඇත.

සෞඛ්‍ය ඇමැතිවරිය ඉකුත් 19 වැනිදා සවස පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර එහි වැඩි වේලාවක් නොසිට

ආපසු ගොස් ඇති බව වාර්තා වී ඇතැයි වේත්‍රධාරි නරේන් ප්‍රනාන්දු පැවැසීය.

ඇමැතිවරියගේ පළමු පෙළ ආශ්‍රිතයන් හා සෙසු ආශ්‍රිතයන් පිළිබඳව වසංගත රෝග නිවාරණ ඒකකය විසින්
පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ‘මව්බිම’ට පැවැසීය.

මේ වනවිට තමාත් ස්වයං නිරෝධායනය වී සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මේ වනවිට හික්කඩුව අතරමැද නිරෝධායන මධ්‍යස්ථානයකට
ඇතුළත්ව සිටින්නීය.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකක පහක් වසා දමා ඇති අතර සෞඛ්‍ය ඇමැති කාර්යාලයද එසේ
වසා දමා ඇති ඒකක අතර වෙයි.

එම කාර්යාලය විසබීජහරණය කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මීට ඉහතදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සේවය කරන අය අතුරින් කොවිඩ් ආසාදිත වූ අට දෙනකු
වාර්තාවීමත් සමඟ ඒකක හතරක් වසා දැමූ අතර එසේ ආසාදිතයන් වූ අය සමඟ ඇසුරු කළ පුද්ගලන් පිළිබඳ
තොරතුරු සොයා එසේ හමුවන අය පී.සී.ආර්. පරීක්ෂණවලට භාජන කරවීමට කටයුතු කෙරෙන බවද එම
ප්‍රකාශකයා සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමැතිවරියගේ පෞද්ගලික ලේකම් වන කාන්චන ජයරත්න මහතාටද කොවිඩ් ආසාදිත වී ඇති බව
තහවුරු වී ඇත.

ජේ.ටී. ද සිල්වා