මොරටු මහ නගරසභා නිලධාරින් ඩිමල් පාරේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කරන්නට යෑමේදී එම වෙළෙන්දෝ මොරටු මහ නගර සහා ලොරිය යට නිදා ගනිමින් ඊයේ (26) විරෝධය දැක්වූහ.   වෙළෙඳුන් දාහත් දෙනකු පමණ මෙම ස්ථානයේ වෙළෙඳාමේ නිරත වන අතර මෙම වෙළඳුන් ඉවත් කිරීමට මොරටුව නගර සභාවෙන් ඊයේ ද උත්සාහ ගනු ලැබීය. ඊයේ (26) මොරටුව මහ නගර සභා නිලධාරින් ක්‍රියා කළ ආකාරයත් සමග අද දින වෙළෙඳුන් විරෝධතාවක නිරත වූ අතර එම අවස්ථාවේදී එතැනට පැමිණි මොරටු මහ නගර සභා ලොරිය බතල පෙට්ටියක් පටවා ගැනීමට දැරූ උත්සාහයේදී වෙළෙඳුන් මෙම ආකාරයෙන්  ලොරිය යට නිදා ගනිමින් සිය විරෝධතාව දැක්වූහ.

එම අවස්ථාවට විරෝධය දක්වන ජනතාව කොරෝනා වසංගත තත්ත්වය නිසා දුප්පත් වෙළෙඳුන් පීඩාවට පත් වී සිටින මොහොතක මේ ආකාරයෙන් මොරටුව නගරාධිපති ඇතුළු 
නිලධාරින් කටයුතු කිරිම ඉතා අමානුෂික ක්‍රියාවලියක් බව ද පැවසීය. නගරාධිපතිවරයා පවතින තත්වය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් සිය දරුමල්ලන් ද දැඩි  අපහසුතාවන්ට පත්ව ඇති බව එම වෙළෙන්දෝ  පැවසූහ. මොරටුව මහ නගර සභාවෙන් මෙම වෙළෙඳුන්  ඉවත් කරන්නට සැරසෙමින් නිලධාරින්ට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි අතර මොරටුව පොලිසිය එසේ ආරක්ෂාව සැපයීමේන් වැළකී සිටියේය.

ලිඛිතව හා වාචිකව සිදුකළ ඉල්ලීමට අනුව පොලිස් ආරක්ෂාව නොදුන්නේ යැයි පවසමින් මොරටුව නාගරික කොමසාරිස්  තෙවරප්පෙරුම මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ඊයේ  මොරටු පොලිසියට  එරෙහිව පැමිණිලි 7 ක් මොරටු පොලිසියට  ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.  මොරටුව පොලිසියට පැමිණිලි හතක් ඉදිරිපත් කරමින් අනවසර වෙළඳුන් ඉන් ඉවත් කිරීමට  පොලිස් ආරක්ෂාව සපයන යැයි ඉල්ලීම් කළත් එහිදී පොලිස් නිලධාරින්ද පැවසූයේ මේ ආකාරයෙන් වෙළෙඳුන් ඉවත් කිරීම මෙවන් අවස්ථාවක සාධාරණ නොවන බවයි.

කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක  සාමාන්‍ය ජන ජීවිතයේ මේ ආකාරයෙන් කඩාවැටීම දැඩි ගැටලු ඇති කරවන්නක් බව සඳහන් කරන පොලිසිය සමාජයට හොරෙක්, මංකොල්ලකාරයකු, දූෂිතයකු බිහිවීමට කිසිවිටෙක පොලිසිය ඉඩ නොදෙන බවත් මේ ආකාරයෙන් එදිනෙදා වෙළඳාමේ නිරත වන වෙළඳුන්ට හිංසා කිරීම තුළින් එවැනි සමාජ විරෝධී පුද්ගලයන් බිහි වීමට ඇති ඉඩකඩ ද වැඩි බවත් පැවසීය.


-රේඛා තරංගනී ෆොන්සේකා-