කතරගම වැඩසිටිකන්ද රජමහ විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද හිමියන් ඝාතනයකොට
විහාරස්ථානය කොල්ලකෑමට පැමිණි බව කියන තරුණ ස්වාමීන් වහන්සේ පස් නමක් සහ ගිහි පුද්ගලයන්
දෙදෙනකු පෙරේදා (25දා) රාත්‍රියේදීම කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත්
පුද්ගලයන් 10 දෙනකු පමණ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව
කතරගම පොලිසිය පවසයි.

වැඩසිටිකන්ද විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් කලක සිට දෙපාර්ශ්වයක් අතර යම් ආරවුලක් පවතින අතර
ඒ සම්බන්ධයෙන් වූ විභාග වන නඩුවක්ද හම්බන්තොට මහාධිකරණයේ පවතී. පෙරේදා සවස මෙම පිරිස
විහාරස්ථානයට පැමිණ තිබේ. පැමිණි පිරිස අතර ස්වාමීන් වහන්සේ 10 දෙනකු පමණ හා ගිහි පුද්ගලයන්
20 දෙනකු පමණ වන බව විහාරාධිපති හිමියෝ පැවැසූහ.

මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති පිරිස අතර අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයකට අයත්
පිරිසක් සිටින බව පැවැසේ.


හතර පස්දෙනා බැගින් කණ්ඩායම්වලට බෙදී විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා යන විලාසයෙන් පහත
මාලයට පැමිණ ඇති 30 දෙනකුගෙන් පමණ යුත් මෙම පිරිස එහි සිටි කළමනාකරුට පහරදීමෙන් පසු කදු
මුදුනට බැතිමතුන් ප්‍රවාහනය කිරීම සඳහා නවතා තිබූ වාහන තුනක රියැදුරන්ට තර්ජනය කොට එම වාහන
මඟින් ඉහළ මාලයට ගොස් ඇති බවට පහත මාලයේ කළමනාකාරවරයා පොලිසියට ප්‍රකාශ කොට ඇත.

ඉහළ මාලයේ ආරක්ෂාව පිණිස යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන්  අයේෂ් ක්‍රිෂ්මන්
(24727) මහතා ⁣සිද්ධිය පිළිබඳව මෙසේ කීය.

“පෙරේදා (25දා) හාමුදුරුවරු පස්නමක්ද තවත් ගිහියන් 25ක්, 30ක් වගේ පිරිසක්ද මෙම විහාරස්ථානයට
අයත් වාහන හතරකින් පමණ ඉහළ මළුවට පැමිණියා. මමත් හෂාන් මධුසංක (29419) රාලහාමිත් ඉදිරිපස
සිටියා. අපට කුමක් හෝ කුමන්ත්‍රණයක් කියලා දැනුණු නිසා   විහාරාධිපති නායක හිමියන් සංඝාවාස
කාමරයට යවල අපි ‍දොර වැහුවා. අලවංගු හා යකඩකූරු අත තිබූ දෙදෙනෙක් නායක හිමියන්ගේ
කාමරය ළඟට පැමිණ ‍ෙදාර අරින්න කීවා. අලවංගුවක් දමා දොර කඩන්න හැදුවා එහි සිටි හෂාන්
මධුසංක රාලහාමිගේ බෙල්ල වටා අත දමා බෙල්ල මිරිකුවා. ඒ අවස්ථාවේදී මුරට සිටි හමුදා භටයන්
දෙදෙනකුද දුවගෙන ආවා මා පිස්තෝලය ගෙන වෙඩි තැබීමට සූදානම් වනවිට එම පිරිස නැවත වාහනවලින්
පිටව ගියා. පැමිණ සිටි ගිහි පුද්ගලයන් කිහිපදෙනකු අත අලවංගු, යකඩකූරු හා තවත් දෙදෙනකු අත විවිධ
යකඩ කෑලි කොටස් දැමූ පොහොර මළු දෙකක්ද තිබුණා.


මේ සම්බන්ධයෙන් වැඩසිටිකන්ද විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද නායක හිමියෝ මෙසේ පැවැසූහ,  

“වැඩසිටි කන්ද හිටපු විහාරාධිපති රත්මලානේ සිද්ධාර්ථ නායක හිමියන් 2011 වර්ෂයේ අපවත් වූ දා සිට
මම විහාරාධිපති ධුරයේ කටයුතු කරනවා. මා මෙහි විහාරාධිපති වශයෙන් කටයුතු කරන්නේ නීත්‍යනුකූලවයි.
මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමා දන්නවා. ඒ වාගේම අපේ නිකායේ මහා නායක
ස්වාමීන් වහන්සේ දන්නවා. මේවා බලාගෙන ඉන්න බැරි පිරිසක් මාව ඝාතනය කරලා විහාරස්ථානය
කොල්ලකෑමට දැරූ උත්සාහයක් ලෙසයි මා මෙය දකින්නේ.”

මේ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ලියනගම මහතා කියා
සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ස්වාමීන් වහන්සේ පස් නමක් සහ ගිහි පුද්ගලයන් දෙදෙනකුද
අත්අඩංගුවට ගෙන තිබෙන බවත් කතරගම ප්‍රදේශයෙන් සම්බන්ධ වී ඇති පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීම
සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙන අතර ඔවුන් සැවොම අත්අඩංගුවට ගෙන අධිකරණයට
ඉදිරිපත් කරන බවත්ය.

පොලිස්පතිවරයා සහ දකුණු දිසාව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත තංගල්ල
කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය සහ හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි
ජයශාන්ත ද සිල්වා මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකෙරේ.

ඩී.එන්. ජයසේකර