පාර්ක් ඇන්ඩ් රයිඩ් - සිටි බස් සේවාව අද සිට ආරම්භ කෙරෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන්නේ මාකුඹුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන්.  බස් රථ 25 ක් යොදා ගෙන එහි පළමු පියවර අද ආරම්භ කිරීමට නියමිතයි.සිය පෞද්ගලික වාහනවල පැමිණෙන අයට වාහන අංගනයක් තුළ සිය රථය නවතා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගි බස්වල කොළඹ නගරය දක්වා පැමිණීමේ හැකියාව මේ යටතේ පවතිනවා.


එම බස් රථවල වයිෆයි ඇතුළු සියලු පහසුකම් සපයා තිබෙන බවයි වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.


පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා ගමන්කරන මගීන් වෙනුවෙන් මාකුඹුර සිට පිටකොටුව දක්වා බස්රථ සේවාව ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ඒ ගැන මෙසේ පැවසීය.

"අද දිනයේදී මාකුඹුර සිට පිටකොටුව දක්වාත් පිටකොටුවේ සිට මාකුඹුර දක්වාත් 138 මාර්ගයේ සහ බත්තරමුල්ල ඔස්සේ මෙම සිටි බස් සේවාව ආරම්භ වෙනවා. පාර්ක් ඇන්ඩ් රයිඩ් කියන සංකල්පය මත මෙම සේවාව ආරම්භ වෙන්නෙ. අධික රථවාහන තදබදයක් සමග ගමන් කරන කාර්යාල පිරිස් ඉවත් කරගෙන මෙම බස්රථවලට ලබා ගැනීම තමයි ඉන් අපි බලාපොරොත්තුවෙන්නේ. ඒ වගේම කාර්යක්ෂමව ඔවුන්ගේ සේවා ස්ථානවලට ඔවුන්ව රැගෙන යෑම. සෑම මිනිත්තු 10කට වරක්ම මේ බස් රථයක් ඒ මාර්ග ඔස්සේ ගමන් කරනවා. ගාස්තුව සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක්."