පක්‍ෂයට ලද ඡන්ද ලක්‍ෂ දෙකහමාරෙන් රටේ නායකයෙකු බිහි කිරීමට හැකියාවක්  නොමැති බවත්, පළමුව බලය ගැනීමට වැඩ කර අවශ්‍ය නම්, පසුව ගහ බැණ ගන්නට වුවද පුළුවන් හෙයින් දැන් හැමදෙනාම වැඩට බැසිය යුතුව ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.   
වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ, කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි තම නිවසට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් සමග ඊයේ (14දා) පැවති සාකච්ඡාවේදීය. එසේම රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, අඩු වූ ඡන්ද ප්‍රමාණය යළි ගන්නා ක්‍රමය සකස් කළ යුතුව ඇති බවයි.


ජේ.ආර්. ජයවර්ධන මහතා සමග පාර්ලිමේන්තුවෙන් පිටත සිට කැපී පෙනෙන චරිත කිහිපයක් රට වටා ගොස් කළ දේශපාලනයේ ප්‍රතිඵල ලෙස 1977දී එක්සත් ජාතික පක්‍ෂයට හයෙන් පහක ඉතිහාසගත ජයග්‍රහණය හිමි වූ ආකාරයද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.  පක්‍ෂයට නැති වූ ඡන්ද යනු ලබා ගන්නා ක්‍රමවේදයේදී ඡන්ද හරවා ගැනීමද අත්‍යවශ්‍ය කරුණක් යැයි වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේස්ය. එක්සත් ජාතික පක්‍ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට  (16දා) දින විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.


දිගින් දිගටම මෙරට පවතින කෝවිඩ්19 රෝගී තත්වයත් එංගලන්තයේ නව කෝවිඩ්-19 ප්‍රභේදය ආසාදිතයෙකු ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී හමු වීමත් සමග රටේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයේදී අවධානය යොමු කිරීමට නියමිතය.  මීට අමතරව කෝවිඩ්-19 වසංගතය සඳහා වන එන්නත කඩිනමින් මෙරටට ගෙන්වා එය ශ්‍රී ලාංකික ජනතාවට ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳවද වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශයේදී අවධානය යොමු කිරීමට අපේක්‍ෂිත බවද වාර්තාවේ.

-නවෝද්‍යා පවනී-