රුපියල් මිලියන හයසිය තිහක් වැයකර මහරගම නගරයේ ඉදිකළ, එහෙත් ජනතාව ප්‍රයෝජනයට නොගන්නා, සය (6) මහල් රථගාලේ කොන්ක්‍රීට් පියස්ස මත බැඩ්මින්ටන් පිටියක් ඉදි කිරීම සඳහා මහරගම නගර සභාපතිවරයා විසින් මාසික මහ සභාවට ගෙන එනු ලැබූ යෝජනාවක් පාලක පක්ෂය ප්‍රධාන සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව මැද පසුගියදා (7) ප්‍රතික්ෂේප විය.

මෙහිදී සභාව ඇමතු සභාපති ඉරාජ් ලක්රුවන් පියරත්න මහතා "අනෙක් නාගරික මන්ත්‍රීවරු ගෙන එන යෝජනා කිසිවකටත් සභාපතිවරයා ලෙස මා විරුද්ධ නොවී එයට සහය පළ කරද්දී මගේ යෝජනාවක් සඳහා මෙහි නාගරික මන්ත්‍රීවරුන්ගේ සහය නොලැබීම ගැන කනගාටුවන බව ප්‍රකාශ කළේය. මේ සඳහා මා නිලධාරින් එහි කැටුව ගොස් පරික්ෂා කර විශාල කාලයක් සහ කැප කිරීමක් සිදු කළා. එවැන්නක් ප්‍රතික්ෂේප වීම ගැන තමා කනගාටුවට පත්වන බවද සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය".

එහිදී නැගී සිටි පාලක පක්ෂයේම නාගරික මන්ත්‍රීවරයෙකු වූ නිශාන්ත විමලචන්ද්‍ර (ශ්‍රීලපොපෙ) මහතා,


“මහරගම නගරයේ විශාල ක්‍රීඩා පිටියක් සහ පිහිනුම් තටාකයක් සහිත ක්‍රීඩා සංකීර්ණයකට භූමියක් වෙන්කර තිබිය දී නගර මධ්‍යයෙහි සහ මහල් ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් පියස්ස මත බැඩ්මින්ටන් පිටියක් ඉදිකිරීමට ඔබේ සිතේ සිතිවිල්ලක් පහළ වූ පමණින් එය අනුමත කළ නොහැකි බව කීය. මෙය ජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි දෙක තුනක් වැය වන ව්‍යාපෘතියක්. මේ සඳහා යන වියදම තවම ඇස්තමේන්තු කරලත් නැහැ. මේක මහා මොංගල් යෝජනාවක්." මෙහිදී සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවිය.

මෙහිදී නැගී සිටි කාන්ති කොඩිකාර මහත්මිය මෙලෙස පැවසුවාය.

මා මෙහි හිටපු සභාපතිනිය ලෙස මට පෙර මෙහි සිටි සභාපති මාසකෝරාළ මහතාගේ පාලනය අනුමත කළ යෝජනා ඉදිරියට ගෙන ගියා සේ, ඔබ දැනට මෙහි ඉදිකර ඇති නාවින්න ක්‍රීඩා සංකීරණයේ ඔබේ බැඩ්මින්ටන් ක්‍රීඩාපිටිය ද ඉදි කරන්න. එසේ නොමැතිව අද සුදු අලියෙකු බවට පත්ව තිබෙන සය මහල් රථගාලේ වහල මතට එය ගෙන ඒමට කරනා යෝජනාව ප්‍රායෝගික නැහැ. මන්ත්‍රීවරු එලෙස අදහස් පළ කිරිමෙන් අනතුරුව යෝජනාව ප්‍රතික්ෂේප විය.

මහා සභාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කළ නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.
ජේ.ආර්. හැදු ජයවර්ධනපුරයේ පසුව පැමිණි පොදු පෙරමුණේ රජයන්ට නව ඉදි කිරීම් කළ හැකි වූයේ නම් වත්මන් සභාපතිවරයාට කොඩිකාර පාලනය යටතේ ඉදි වූ ක්‍රීඩා සංකීර්ණය තුළ නව බැඩ්මින්ටන් ක්‍රීඩාපිටිය ඉදිකිරීමට නොහැක්කේ මන්ද යන්නයි. මෙය සභාපතිවරයාගේ නම සදාකල් පැවතීම සඳහා කළ උත්සාහයක් වෙන්නද පුළුවන්. එහෙත් එවැන්නක් සඳහා ජනතා බදු මුදල් වැඩි කිරීම අපට අනුමත කරන්න බැහැ. ඒ සඳහා සභාපතිවරයාගේ පුද්ගලික මුදල් වැය කර මෙය ඉදි කරන්නේ නම් අප ඊට විරෝධය පළ නොකරණ" බවයි.


- ගාමිණි සරත් ගුණවර්ධන -