කිලිනොච්චිය දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය යාචකයකු බව කියන 73 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ රුපියල් 1,38,000ක පමණ මුදලක් තිබී සොයාගෙන ඇත.
 
රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට හමුවී ඇති මෙම රුපියල් 1,38,000ක පමණ මුදල රෝහල් ගණකාධිකාරිවරයා බාරයට පත්කර තිබෙන බව කිලිනොච්චිය රෝහල් වෛද්‍යවරයා ඊයේ (10) පැවසීය.

කිලිනොච්චිය නගරයේ කාලයක සිට ජීවත් වූ යාචකයකු බව කියන මෙම පුද්ගලයා බස්නැවතුම්පොළක හෝ කඩපිලක ගත කළ බව කියති. මෙම පුද්ගලයා පසුගිය දිනෙක හදිසියේ රෝගිවීම නිසා ත්‍රිරෝද රථ රියැදුරන් කිහිප දෙනකු මැදිහත් වී ඔහු කඩිනමින් රෝහල්ගතකර තිබෙන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.


රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති මෙම යාචකයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඉකුත් 08 වැනිදා පවත්වා තිබේ.

හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බව එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය විණි යැයි පොලිසිය කියයි.

මියගිය මෙම යාචකයාගේ ගමන් මල්ල පරීක්ෂා කර බැලීමේදී රුපියල් 1,38,000ක පමණ මුදලක් තිබී රෝහල් කාර්ය මණ්ඩලයට හමුවීමෙන් පසුව ඔවුන් ඒ බව රෝහල් බලධාරීන්ට දැනුම් දී පසුව එම මුදල රෝහල් ගණකාධිකාරිවරයාගේ බාරයට පත්කර තිබේ.

රෝගී යාචකයාගේ ගමන් මල්ලේ තිබූ මෙම 1,38,000ක මුදල අදාළ බලධාරින්ට බාරදී අවංකව තම රාජකාරිය කළ රෝහල් සේවක පිරිස රෝහල් බලධාරීන්ගේ පැසසුමට ලක්වූ බවද එහි ප්‍රකාශකයෙක් පැවසීය.

දූදරුවන් හෝ පවුලේ ඥාතියකු පැමිණ මියගිය අය හඳුනා ගත්තොත් භාරදීමට ඔහුගේ සිරුර රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇතැයි එම වෛද්‍යවරයා කීය. දින 14 ක කාලයක් ඇතුළත ඔහුගේ සිරුර බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවුවහොත් රජයේ වියදමින් භූමදානය කිරීමට රෝහල් බලධාරීන් කටයුතු යොදා ඇතැයිද ඔහු කීය.


- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -