ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාගම් සහ නිෂ්පාදන වෙත මූලිකත්වය ලබාදෙමින් "ඇමෙරිකානු දේ මිලදී ගන්න" යනුවෙන් නව විධායක නියෝගයක් පැනවීමට එරට නව ජනපති ජෝ බයිඩන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ෆෙඩරල් රජයට අවශ්‍ය දෑ මිලදී ගැනීමේදී ඇමෙරිකානු සමාගම් සහ නිෂ්පාදන වෙත ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ජනපතිවරයා සඳහන් කරයි. 

නව ජනපති බයිඩන් ප‍්‍රමුඛ එක්සත් ජනපදයේ නව පරිපාලනය මගින් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමේ ප්‍රයත්නයේ අවස්ථාවක් ලෙස මෙම විධායක නියෝගය පනවා ඇත. ඒ හරහා දේශීය කර්මාන්තශාලා සහ සේවකයන් වෙත වඩා වැඩි ආයෝජන ප්‍රමාණයක් සිදුකරමින් මෙම කර්මාන්තවල සේවයේ නියුතු පිරිසගේ රැකියා ආරක්ෂා කිරීම සැලසුම් වී තිබේ.


විශේෂයෙන්ම නව ජනපති බයිඩන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට COVID-19 වසංගතය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති එක්සත් ජනපද ආර්ථිකය 'පෙරට වඩා හොඳට දියුණු කිරීමේ ප්‍රයත්නයේ තවත් එක් අවස්ථාවක් බවටද මෙය හැඳින්වී තිබේ.

ෆෙඩරල් රජය මගින් කොන්ත්‍රාත් වෙනුවෙන් වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන 600ක පමණ මුදලක් වැය කරයි. ඒ අනුව මෙම මුදල් වැය කරමින් සැමවිටම 'මේඩ් ඉන් ඇමෙරිකා" නිෂ්පාදන මිලදී ගන්නා ලෙස මෙම ෆෙඩරල් ආයතන වෙත මේ හරහා, උපදෙස් ලබා දී ඇත.

අද වනවිට නිෂ්පාදන ක්ෂේත්‍රය එක්සත් ජනපද ආර්ථිකයෙන් 12%ක ප්‍රතිශතයක් ගන්නා අතර, එය වත්මන් ජනපතිවරයාගේ ඉදිරි ආර්ථික දැක්මේ ප්‍රධාන අංශයක් බවටද පත්ව තිබේ.

මේ හරහා වැටුප් ඉහළ දැමීම්, වඩා වැඩි රැකියා උත්පාදනය කිරිම්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙත සහාය ලබාදීම් සහ එක්සත් ජනපදයේ සැපයුම් දාමය ශක්තිමත් කිරීම යනාදිය මේ යටතට ඇතුළත් වන බවත් පැවසෙයි.

"ඇමෙරිකානු නිෂ්පාදන ක්ෂේත්‍රය දෙවැනි ලෝක යුද්ධයේදී ප්‍රජාත්නත්‍රවාදයේ යුද ගබඩාව බවට පත්ව තිබුණා. දැන් එය ඇමෙරිකානු සෞභාග්‍යයේ එන්ජිමේ කොටසක් බවට පත්විය යුතුයි. ඒ කියන්නේ අපි දැන් බදු ගෙවන්නන්ගේ මුදල් ඇමෙරිකාව නැවත ගොඩනැගීම සඳහා යොදවනවා.” බයිඩන් මෙහිදී පවසා තිබේ.