ඇමැතිවරයකුගේ නම කියමින් තැරැව්කරුවන් මගින් රැකියා සදහා කොරියාවට යවනවා යැයි කියා දිවයිනේ විවිධ ප්‍රදේශවල විශාල පිරිසක් රවටා මුදල් වංචා කාට ඇති බව කියන සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියක ඊයේ (07) උදෑසන අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය පැවසීය. එක් සැකකරුවකු හා සැකකාරිය අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනෙක් සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි අයකු බවත් පොලීසිය කීය. නිට්ටඹුව පොලීසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසේල පෙරේරා මහතාට ලද දුරකථන ඇමතුමකට අනුව ඒ මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (07) උදෑසන අත්තනගල්ල ප්‍රදේශයේ නිවසක් වටලා කාරයක් සමග සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණ.


පොලීසිය වැටලීම සිදුකළ අවස්ථාවේ මොවුන්ගේ වංචාවන්ට ගොදුරු වී ඇති බව කියන විසිදෙනකු පමණ ප්‍රධාන සැකකරුගේ නිවස වටලාගෙන සිටි බව නිට්ටඹුව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසේල පෙරේරා මහතා පැවසීය.

එක් සැකකරුවකු ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් තැරැව්කරුවන් මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයින් පිරිසක් රවටා කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාව සිදුකොට ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මුලින් ලියාපදිංචි ගාස්තුව වශයෙන් රුපියල් දහස බැගින් ලබාගෙන ඇති බවද වැඩ බලන ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

මොවුන් මේ අයුරින් තවත් විශාල පිරිසකගෙන් මුදල් වංචා කොට ඇති බවට තොරතුරු ලැබී ඇති බවද වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා කීය. මූලික පරීක්ෂණ අවසන් වීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසේල පෙරේරා මහතා ප්‍රමුඛ නිලධාරීහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.


- ආනන්ද ඉ. ජයකොඩි -