කිරුළපන නන්දිමිත්‍ර පෙදෙසේ බෝඩිම තුළ පෙට්ටියක බහා වැඩි පරිස්සමට තබා තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා විදුලි උපකරණ  සොරාගත් බෝඩිමේ හිමිකාරියගේ පුත්‍රයා පෙරේදා (10) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.  සැකකරු එලෙස සොරාගත් අධිපීඩන ඩ්‍රිල් යන්ත්‍ර කීපයක්,  ලී කපන මැෂිමක්, තෙකලා විදුලිය සඳහා යොදාගන්න මිටර් 150 වයර් රෝලක්, ඇලුමිනියම් කටර් යන්ත්‍ර දෙකක් හා රූපවාහිනී යන්ත්‍රයක් පොලිස් බාරයට ගෙන ඇත. කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක ඉදිකිරිම් කටයුතුවල නිරත දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පස්දෙනකු එම බෝඩිමේ නතර වී සිටින අතර කොරෝනා  වසංගතය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සිදු නොකළ බැවින්
සියලුම විදුලි උපකරණ බෝඩිම් කාමරයක පෙට්ටියක බහා  එයට අගුළු දමා බෝඩිම ද වසා දමා ඉකුත් ඔක්තෝබර් මස 28 වැනිදා ගම් ප්‍රදේශය කරා පිටත්ව ගොස් තිබූ බව  පොලිසිය කියයි.

 එම පිරිස ඉකුත් 8 වැනිදා බෝඩිම වෙත පැමිණීමේ දී වසා දමා තිබූ දොරවල් ද විවෘත කර තිබූ අතර කාමරයට ගොස් තවදුරටත් සෝදිසි කිරීමේදී විදුලි උපකරණ බහා අගුළු දමා ගිය පෙට්ටිය ද විවෘත කර තිබුණ අයුරු දැක ගැනීමට හැකි වූ බැවින් එහි දමා තිබූ විදුලි උපකරණද නොමැති බවට දැකගත හැකි වී තිබූ බව පොලිසිය කියයි. . ඒ පිළිබඳ බෝඩිමේ හිමිකාරියගෙන් විමසීමේදී පැහැදිලි පිළිතුරක් නොදීම හේතුවෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී එම සොරකම සිදුකර ඇත්තේ බෝඩිමේ හිමිකාරියගේ පුත්‍රයා බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.


එම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී සොරා ගත් එම විදුලි උපකරණ රුපියල් 10 000 කට, රූපවාහිනී යන්ත්‍රය රුපියල් 3000ට කිරුළපන ප්‍රදේශයේ භාණ්ඩ කුලියට ලබාදෙන ස්ථානයකට විකුණා ඇත්තේ ඔහු සේවය කරන ආයතනයෙන් අඩුම මුදලකට ලබාගත් බවට ව්‍යාජ  තොරතුරු පවසා බව සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. වයස අවුරුදු 23 ක් වන සැකකරු තදින් මත්කුඩුවලට ඇම්බැහි වූවකු බවත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සිට මීට  දෙමසකට පෙර පැමිණි අයකු බවට විමර්ශනවලදී  වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.  සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


-බිමල් ශ්‍යාමන් ජයසිංහ-