කුරුණෑගල හෙරලියාවල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින  පෞද්ගලික හෝටල් සංකීර්ණයේ අවශ්‍ය කටයුතු
සඳහා රැගෙන ආ විශාල ප්‍රමාණයේ ටයිල් තොගය කන්ටේනර් පෙට්ටියෙන් බෑමට සහභාගි වූ කම්කරුවන්
දෙදෙනා ටයිල් අතරට හිරවී ජීවිතක්‍ෂයට පත්වූ අතර එක් කම්කරුවකු තුවාල ලබා කුරුණෑගල ශික්‍ෂණ

රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. පසුගිය 25 දින රාත්‍රි 10.30ට පමණ මෙම
සිද්ධිය වාර්තා වූ අතර ඉදිවෙමින් පවතින හෝටල් සංකීර්ණ භූමියේ නවතා තිබූ කන්ටේනරයෙන් ටයිල් බෑමට
එහි ඇතුළු වූ එක් කම්කරුවකුට සිදුවූ අපහසුතාවට උපකාර කිරීමට ගිය අනෙක් කම්කරුවාද  ටයිල් ගොඩට හිර
වීම නිසා ඇතිවූ සංකූලතාව මත කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

මෙම අනතුරෙන් ගනේවත්ත පදිංචි අමිල දේශප්‍රිය (35) සහ මහනුවර දිගන පදිංචි  ශිවා (35)යන
දෙදෙනා මියගිය අතර එක් කමිකරුවකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. කුරුණෑගල මූලස්ථාන
පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි
අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්.ආර්.එච්.එම් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන්
උ.පො.ප. අතුල බණ්ඩාර, රාමනායක සහ පො.සැ. රෝහණ (587820)  ඇතුළු පොලිස් නිලධාරින්
වැඩිදුර පරීක්ෂණ සිදු කරති.


කුරුණෑගල - රවිදු සූරියබණ්ඩාර, ජයන්ත දිසානායක