ඉන්දියාවේ නිෂ්පාදනය කර තිබෙන කොරෝනා වෛරස් එන්නත් ලබාදීම පසුගිය සෙනසුරාදා සිට එරටදී ඇරඹුනත් එරටදී ලබාදෙන එන්නත් වර්ග 02 න් එක් එන්නතක් ගැන පවතින අවිශ්වාසය නිසා එරට එන්නත් වැඩසටහනට සහභාගීත්වයේ අඩුවක් පෙන්නුම් කර ඇති බව  ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර තිබේ.රට පුරා සිටින පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින් සඳහා කොරෝනා එන්නත් කිරීම පසුගිය සෙනසුරාදා සිට ඉන්දියාවේ ඇරඹිණි.

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා බලපත්‍රය යටතේ ඉන්දියාවේ සේරම් ආයතනය නිපදවන කෝවිෂීල්ඩ් එන්නත ‘නිවැරදි‘ එක බවට එරට විශ්වාසයක් ඇතිව තිබෙන අතර ඒ එන්නත ලබාදීමේ කටයුතු සාර්ථකව සිදුවන නමුත්  දේශීය නිෂ්පාදනයක් වන කොවැක්සින් එන්නත ගැන මෙම සැකය මතුව ඇත.

එය  නිෂ්පාදනය කරනු ලබන්නේ භාරත් බයෝටෙක් නමැති ඉන්දීය පර්යේෂණ ආයතනයයි. එම එන්නත තවම පර්යේෂණ මට්ටමේ පවතී. කෙසේ වෙතත් හදිසි අවශ්‍යතා මත එම එන්නත ජනවාරි මුල් සතියේ ඉන්දියානු රජය බෙදාහැරීම සදහා අනුමත කළ අතර එම තීරණය විද්‍යාඥයින්ගේ නොසතුටට හේතු විය.
ඒ ගැන විරෝධතාවන්ද එරට පැවති අතර මෙම ආරංචිය නිසා කොවැක්සීන් ලබාදෙන්නට ආරම්භ කර ඇති එන්නත් මධ්‍යස්ථානවලට අපේක්ෂිත පිරිසක් සහභාගීවී නැති බව වාර්තාවේ.කොවාක්සින් වෙත අනුමැතිය ලබා දී ඇති ප්‍රාන්ත තිබෙන්නේ 11 ක් පමණි.

රාජස්ථාන්, තමිල්නාඩු, දිල්ලි, මහාරාෂ්ට්‍ර, බිහාර්, කර්නාටක, ඔඩීෂා, උත්තර් ප්‍රදේශ්, ඇසෑම්, අන්ද්‍රා ප්‍රදේශ් සහ හර්යානා යන ප්‍රාන්තවල මෙම එන්නත සෞඛ්‍ය සේවකයින් හා එසේ නොවන අයට ලබාදීම ආරම්භ කර ඇතත් පළමු දිනයේ එන්නත් ලබාගැනීමට පැමිනි අයගෙන්

අඩකට අඩු ප්‍රමාණයක් දෙවන දිනයේ පැමිණ තිබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තාවේ සඳහන්ය.


‘තාම අත්හදාබැලීමක් නිසා මොනව වෙයිද කියන්න බෑ.. තව ටිකක් කල් ඉඳලම එන්නත ගන්නවා‘ සෞඛ්‍ය සේවකයෙකු පැවසූ බව පුවත්පත වාර්තා කර තිබේ.
 

මේ අතර ඉන්දියාව ජනවාරි මුල් සතියේදී දේශීය එන්නත අනුමත කළේ ඉන්දියාවේ නිපදවන අනෙක් එන්නතවූ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපනයනය සීමා කරමිනි.  භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට බදාදා සිට  ඉන්දියාවෙන් යැවූ එන්නත් තොගයෙන් කොටසක් මේ වනවිට භූතානයට හා මාලදිවයිනට ගොඩබා තිබෙන අතර එම තොගය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා වර්ගයේ එන්නත් බව හඳුනාගන්නට ලැබේ.

කෙසේ වෙතත් ඉන්දියාව මෙහිදී එන්නත් වර්ග දෙකම අඩුවැඩි වශයෙන් අපනයනය කරනු ඇති බවට සැක පළවී ඇති අතර සපයනු ලබන එන්නතේ වර්ගය ගැන වැඩි ප්‍රසිද්ධියක් ලබානොදීමට කටයුතු කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාව සඳහාද ඉන්දීය එන්නතේ තොග සූදානම් බවත් නිෂ්කාෂණ කටයුතු අරඹා ඇති බවත් පෙරේදා (19) ඉන්දීය විදේශ සබඳතා අමාත්‍යංශය දැන්වූ අතර මේ ගැන කටයුතු කරන ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරිය තවත් දින 3 කින් පමණ එම කටයුතු අහවර කරගත හැකිවනු ඇතැයි දන්වා ඇත.

කෙසේ වෙතත් අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ the morning පුවත්පතට ඊයේ පවසා තිබෙන්නේ අනුමැතිය ඉල්ලූ එන්නත් මොනවාද යන්න මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවය.