ලොව පුරා ව්‍යාප්තව ඇති COVID-19 වෛරසය ආසාදනය වූ බවට දැනට හඳුනාගත හැකි පොදු පිළිගැනීමට ලක්ව තිබෙන රෝග ලක්ෂණවලට වඩා තවත් රෝග ලක්ෂණ කිහිපයක්ම පවතින බව එක්සත් රාජධානියේ කිංග්ස් කොලේජ්හි මහාචාර්යවරයෙකු වන ටිම් ස්පෙක්ටර් අනාවරණය කරයි.

ඒ අනුව දැනට පවතින පොදු ලක්මණ වන උණ හටගැනීම, සමෙහි කුෂ්ට හටගැනීම වැනි තත්ත්වයන්ට අමතරව මුඛයේ තුවාල හටගැනීම
සහ දත් පුපුරා යෑමද මෙම COVID-19 රෝගය ආසාදනය වූ බවට ලක්ෂණ බව මහාචාර්යවරයා සඳහන් කරයි.

එහෙත් මෙම තත්වයන් දුර්ලභ ලක්ෂණ තත්වයන් වන බවත්, එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (PHE) තුළ පවා මෙම රෝග ලක්ෂණ ලැයිස්තුගත කර නොමැති බවත් ඔහු පවසයි.

"තවමත් හඳුනා ගන්නා COVID-19 රෝගීන් පස්දෙනකුගෙන් එක් අයෙකු තුළ එංගලන්ත මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලැයිස්තුගත කර තිබෙන රෝග ලක්ෂණවලින් තොර වෙනත් ලක්ෂණ  පවතින බව අනාවරණය වී තිබෙනවා."  මහාචාර්යවරයා පවසයි.

විශේෂයෙන්ම මේ වනවිට බ්‍රිතාන්‍ය තුළ COVID-19 වෛරසයේ නව ප්‍රභේදයන්ද ව්‍යාප්ත වෙමින් පැවතීම නිසා මෙවැනි රෝග ලක්ෂණ හට ගන්නා බව ඔහුගේ අදහස වී තිබේ.

ඒ අනුව අසාමාන්‍ය හිසරුදාවේ සිට වෙනදාට හට නොගන්නා කුමන හෝ රෝග ලක්ෂණයක් වුවද නිවසටම වී සිටීම වඩාත් සුදුසු බව ඔහු පවසයි.

දැනට බ්‍රිතාන්‍ය තුළ සිදුකර ඇති පර්යේෂණවලට අනුව ඇතැම් COVID-19 රෝගීන් තුළ මුඛයේ තුවාල දක්නට ලැබෙන බවත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රසිද්ධ කෙරුණු තවත් අධ්‍යයනයකට අනුව වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ දත් හැලීම,විදුරුමසෙහි සංවේදිතාව නොමැතිවීම, දත් අලු පැහැයට හැරීම මෙන්ම දත් කැඩීයාම්ද දැකගත හැකි වූ බව සඳහන්ව තිබේ.