කිසියම් කණ්ඩායමක් ඊයේ (20) අලුයම කාලයේදී හොරගොල්ල බණ්ඩාරනායක වලව්වේ දොරක් කඩා එයට ඇතුළු වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි නිට්ටඹුව මූලස්ථාන  පොලීසිය පවසයි. මෙම කණ්ඩායම වලව්වේ තිබූ කිසියම් හෝ  දෙයක් සොරාගෙන ගොස් ඇත්දැයි යන්නට සම්බන්ධයෙන් සොයා බලාගෙන යන බව ද නිට්ටඹුව පොලීසියේ නිලධාරියෙක් සඳහන් කළේය.  සැකකරුවන් සම්බන්ධයෙන් සෙවීම සඳහා නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරින් නිල සුනඛයකු යොදවාගෙන ඇති අතර, වලව්වේ ස්ථාන කිහිපයක් ඉදි කිරිමට සැලැස්සු අවස්ථාවේදී එම සුනඛයා ඉදිරියට ගොස් අසල පිහිටි පාළු ඉඩමක හිස් මත්පැන් බෝතලයක් අසල නැවතී ඇති බවද පරික්ෂණ කණ්ඩායම පවසයි.



අපරාධ ස්ථානය පරික්ෂා කිරීම සඳහා ගම්පහ අපරාධ වාර්තා කොට්ඨාස නිලධාරින් ද එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන් සිදුකළ පරික්ෂාවේදී වලවේ එක් ජනේලයක් අසල තිබූ ඇඟිලි සලකුණු කිහිපයක් සොයාගෙන ඇතැයි ද පොලිසිය කියයි. ඓතිහාසික වටිනාකමක් ඇති මෙම ස්ථානය ඉතාමත් වටිනාකමකින් යුක්ත ඇත්දළ ආදී වටිනා භාණ්ඩවලින් සමන්විත බව සඳහන් වන අතර එහි කිසිදු ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කර නොතිබීම විමර්ශනයට බාධා වී ඇතැයි ද  පොලිසිය පවසයි. හොරගොල්ල වලවේ බිම් මහලේ පිහිටී විශාල ශාලාවක් හා සම්බන්ධ වන වීදුරු දාරක විදුරුවක් කඩා ඇති මෙම පිරිස එම දොරේ අගුලු විවෘත කර වලව්ව තුළට ඇතුළු වී ඇති බවට අනාවරණය වන බවද පොලිසිය සඳහන් කරයි.


හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගයන් මහත්මිය සිද්ධිය වන අවස්ථාවේදී වලව්වේ සිට නැති අතර පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජනාධිපති කොට්ඨාස 4 හි නිලධාරින් දෙදෙනකු අවි සහිතව වලව්වේ ආරක්ෂාවට සිට ඇති බව ද සඳහන් වෙයි.  සිද්ධිය සැලවීමෙන් පසුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ (20) සවස හොරගොල්ල වලට පැමිණ ඇති බවද පොලිසිය පවසයි.


-නිමන්ති රණසිංහ -