ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුල් විවාහයේ බාල දියණිය වන ටිෆනි ට්‍රම්ප් ධවල මන්දිරයේදී පෙරේදා (19) විවාහ ගිවිස ගත්තාය.  හිටපු ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ සම්පූර්ණ දිනයක් ගත කළ අවසන් දිනය වූයේ පෙරේදා (19) දිනය යි.  එදින සිය විවාහ ගිවිස ගැනීමේ දිනය බවට පත් කරගැනීමට ටිෆනි ට්‍රම්ප් කටයුතු කළාය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ඊයේ (20) එම ධුරයේ දිවුරුම් දුන් අතර එම උත්සවයට සහභාගී නොවී ට්‍රම්ප් ෆ්ලෝරිඩා ජනපදය බලා පිටත් විය. ට්‍රම්ප්ගේ බාල දියණිය වන ටිෆනි ගිවිසගෙන ඇත්තේ ඔහුගේ පෙම්වතා වූ මයිකල් බවුලොස් සමග ය.



“අපි ධවල මන්දිරයේදී සුවිශේෂී සන්ධිස්ථාන පසු කළා. ඒ වගේම ඓතිහාසික උත්සවවලට සහභාගී වුණා. ඒ සියල්ල ගෞරවයක්. අපේ පවුලේ සියලු දෙනාට ධවල මන්දිරයේ සුවිශේෂී මතක සටහන් තිබෙනවා. ඒත් මගේ විවාහ ගිවිස ගැනීම ඒ සියල්ලටම වඩා විශේෂ" යැයි ඉන්ස්ටග්‍රෑම්හි ඡායාරූපයක් පළ කරමින් ටිෆනි ට්‍රම්ප් සඳහන් කර තිබිණි. ටිෆනි සහ ඇයගේ ස්වාමි පුරුෂයා එම ඡායාරූපයේ වූහ.  ටිෆනි ට්‍රම්ප් මේ වනවිට 27 වැනි වියේ පසුවන්නීය. ඇය ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප්ගේ සහ ඔහුගේ දෙවැනි බිරිඳ වන මාර්ලා මේපලස්ගේ එකම දියණියයි. ඇය ඇමෙරිකාවේ ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ උපාධි ධාරිනියකි. බවුලොස් 23 වියේ පසුවන අතර ඔහු නයිජීරියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකි.