ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් මූල්‍යායතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 1400 කට ආසන්න මුදලක් සාපරාධී විශ්වාසය කඩකළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් සිවුදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (06) නියෝග කළේය.

සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයි සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප දුන්නේය. එමෙන්ම සැකකරුවන්ට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර ඇති 2012 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ වන චෝදනාවන් මෙම අධිකරණයෙන් ඇප දිය හැකි වැරැදි බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.


ඒ අනුව සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය, දෙසතියකට වරක් පළමු ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද නියම කළේය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර වහාම අධිකරණයට භාර දෙන ලෙසත් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසත්, මහේස්ත්‍රාත්වරයා අධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියට ද නියෝගයක් නිකුත් කළේය.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වන ජීවක හේමාල් එදිරිසිංහ, දිපා අංජලී එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ සහ අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන අයවලුන්ය.

මෙම සැකකරුවන්ගෙන් තිදෙනකු පෙරේදා (05) සවස රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, නාලක ප්‍රේමාල් එදිරිසිංහ යන සැකකරු ඊයේ (06) පෙරවරුවේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් බාරවී තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රියාස් බාරි, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා, එහි සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයසුන්දර යන නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සීමාසහිත ඊ. ටී. අයි. ෆිනෑන්ස් පුද්ගලික සමාගම සහ ඊට අනුබද්ධිත සමාගමක් සම්බන්ධයෙන් ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා නිර්දේශය මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් දී තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය. මූල්‍ය ව්‍යාපාර පනතේ 65 වන වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුවන් සිදුකර ඇත්තේ සංඥය වරදක් වන බැවින් සැකකරුවන් තිදෙනකු පෙරේදා (05) අත්අඩංගුවට ගත් බවත්, ඉන් එක් අයකු ඊයේ (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.


එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 23 වැනිදා  පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබූ බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බී වාර්තතාව මගින් කරුණු ඉදිරිපත් කර තිබිණි. සීමාසහිත ඊ.ටී.අයි. ෆිනෑන්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනාවරණය නොකරන ලද ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් බිලියන 6.8480 ක තැත්පතු නිතීවිරෝධී ලෙස ලබා ගැනීම, සීමාසහිත ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචියක් නොමැතිව හා එමගින් නිකුත් කරන ලද බලපත්‍රයක් නොමැතිව නීතියට පටහැනිව මහජනතාවගේ මුදල් තැන්පතු රුපියල් බිලියන 7.2ක් ලබාගෙන ඇති බවට ජනාධිපති කොමිසම හමුවේදී සාක්ෂි ඉදිරිපත් වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරුවන් සිදුකර ඇති වැරැදි සම්බන්ධයෙන් ඇප ලබා දුනහොත් මහජන කැලඹීමක් ඇතිවිය  හැකි අතර, ඔවුන් විමර්ශන මග හැර යා හැකි බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ හැකි බවත් පැමිණිල්ල අධිකරණයට සඳහන් කළේය.

ඇප පනතේ 14 වන වගන්තියේ 1 (අ) හා (ආ) වගන්ති යටතේ ඇපදීමට විරුද්ධවීමට පැමිණිල්ල ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කළ යුතුව ඇති අතර, මහජන කැලඹීමට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවීමට හෝ විමර්ශනවලින් මගහැර යාම සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත්වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කළ යුතුව ඇති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු තුන වන මහජන කැලඹීම, සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීම සහ විමර්ශනවලින් මගහැර යාම සම්බන්ධයෙන් වන ඒවා සනාථ කිරීමට තරම් කරුණු පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයි ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

විමර්ශනවලින් මගහැර යා හැකි බවට පැමිණිල්ල සඳහන් කළ ද වර්ෂ 2018 සිටම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුවී ඇති බවත් ඒ කිසිදු අවස්ථාවක ඔවුන් අධිකරණය මගහැර ගිය බවට කරුණු ඉදිරිපත් වී නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

ඇප පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව මහජන කියන වචනය පැමිණිලිකරුගේ හෝ අගතියට පත් පාර්ශවය හෝ විය නොහැකි බවත් ඕනෑම සිදුවීමකදී අගතියට පත් හෝ පැමිණිල්ලක් නිරන්තරයෙන්ම කැලඹෙන බවත් ඒ හේතුවෙන් එය මහජන කැලඹිල්ලක් වශයෙන් අර්ථ දැක්විය නොහැකි බවත් අධිකරණය ප්‍රකාශ කළේය. ඒ අනුව පැමිණිල්ල විසින් සැකකරුවන්ට එරෙහිව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත් කර නැතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඇප පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සැකකරුවන්ට ඇප නියම කරමින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන මාර්තු 03 වැනිදා තෙක් කල් තැබීය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ අසේල රණවක, නීතිඥ අනුර හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.


- නිමන්ති රණසිංහ -
(Pix-Lahiru Harshana)