කොවිඩ්-19 වයිරසය මර්දනය සඳහා ඉන්දියාව නිපදවූ එන්නත සැපයීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  හමුවෙමින් ඊයේ (6) දැනුම් දුන්නේය.  තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (6) පැවැත්විය.  
'කෝවිඩ්-19" වසංගතය පාලනය කිරිමේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළ ජනාධිපති ගෝඨාභය රාජප්පක්ෂ මහතා ප්‍රතිකාර අවශ්‍යතාව ඇස්තමේන්තු කිරිමෙන් පසුව ඉන්දියාව නිෂ්පාදනය කරන 'කොවිඩ්19' එන්නත් ලබාගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයාට දැන්වීය.
දැනටමත් මියන්මාරය ඉන්දීය කොරෝනා එන්නත ලබාගැනීමට ඇණවුම් කර ඇත.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ද්‍රව-ස්වභාවික වායු (එල්එන්.ජී.) බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මාර්ග ඉදිකිරිම, කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය, විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය ගැනද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවට  වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා උදව් කිරීමට සූදානම් බව ද හෙතෙම කීය.   විකල්ප බලශක්ති මූලාශ්‍රයක් ලෙස සූර්ය තාපය භාවිත කිරිම සඳහා දැනටමත් ඉන්දීය ආධාර ලබා දී තිබෙන බවත් ඉදිරි කාලයේ දී මේ ක්ෂේත්‍රයට තවදුරටත් මූල්‍ය හා තාක්ෂණික ආධාර සම්පාදනයට  ඉන්දියාවට හැකි බවත් හෙතෙම පැවැසීය.

මාලදිවයින බබල් (ජෛව බුබුළු) ක්‍රමවේදයට ලංකාවට ඉන්දියාවේ සංචාරකයන් ගෙන්වා දීමට වැඩසටහනක් සකස්කරන බවද දන්වා ඇත.

සංචාරක ව්‍යාපාරයේ පුනරුදය පිණිස  ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපාලය එක්ව හැකි ඉක්මනින් සාකච්ඡාවක් පවත්වන බවද දන්වා ඇත.