
විදේශ රැකියාවල යෙදී සිටියදී කොරෝනා රෝගය වැළඳී මියගිය ශ්‍රී ලාංකිකයන් අතරින් රක්ෂණ වන්දි සඳහා 39 දෙනකු සුදුසුකම් ලබා ඇතත්, ඉල්ලුම් කර ඇත්තේ 28 දෙනකු පමණක් යැයි කී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. විදේශවල සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයන් 82 දෙනකු එම රටවලදි මියගොස් සිටි අතර, එයින් 15 දෙනකු කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නැති බවත්, ලියාපදිංචිය නොලැබූ හෝ ලියාපදිංචියේ වලංගු කාලය ඉක්මවා ඇත්නම් රක්ෂණේ වන්දි හිමි නොවන බවත් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. ඒ අනුව මෙම පිරිසෙන් 43 දෙනකුට රක්ෂණ වන්දි ඉල්ලා සිටීමට සුදුසුකම් නැති බව කී එම නිලධාරියා 39 දෙනකු සුදුසුකම් ලබා ඇත්තේ ඒ අනුව යැයි ද කීය.
එසේ රක්ෂණ වන්දි ඉල්ලා ඇති අයගෙන් හත් දෙනෙකුට මේ වන විට වන්දි මුදල් ලබා දී ඇතැයි ද අනෙක් පිරිස වෙනුවෙන් මේ වන විට අයැදුම්පත් රක්ෂණ සංස්ථාවට ඉදිරිපත් කර ඇතැයි ද පැවසූ එම නිලධාරියා, ලියාපදිංචිව මියගිය පිරිස් වෙනුවෙන් ඥාතීන්ට එම මුදල් ඉල්ලා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි යැයි ද පැවැසීය.
මේ අතර එසේ විදේශයන්හි සේවය කරමින් සිටියදී කොරෝනා රෝගය වැළඳී මියගිය එම ශ්‍රී ලාංකිකයන් 82 දෙනාගෙන් කාර්යාංශය ලබා දෙන රුපියල් 40,000 වන්දිය ලබාගැනීමට 69 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි ද, එයින් ලිපි ලේඛන සම්පූර්ණ කළ 39 දෙනකුගේ අයැදුම්පත් මේ වන විට මුදල් අංශයට යොමුකර ඇති බව ද පැවසූ එම ප්‍රකාශකයා, එයින් 21 දෙනකුට මේ වන විට මුදල් ගෙවා ඇතැයි ද කීය. ලිපි ලේඛන අඩුපාඩු නිසා 09 දෙනකුගේ අයැදුම්පත් තවමත් මුදල් අංශයට යොමුකර නැති බවත්, ඒවා සම්පුර්ණ කර යොමුකරන බවත් කී හෙතෙම, මෙම සහනය ලබාගැනීමට ඉදිරිපත් වන ලෙස දන්වා ලිපි යවා දැනුම් දී ඇති නමුත් 11 දෙනකු මේ වන තෙක් ඉදිරිපත් වී නැති බවත් කීවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval