පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි ජනපති සමාව යටතේ නිදහස ලබාදී ඇති බව ඊයේ (03) ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටියේය.
නීති විරෝධී අන්දමින් ටී.56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ මාළිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව තිබුණි.
2010 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ජනවාරි 02 වැනි දා විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි සඟවා තිබූ එම අවි තොගය සොයා ගෙන තිබුණි.
රාජපක්ෂ පාලන සමයේ රජයේ හිතවතෙකු වූ ඌවතැන්නේ හිමි අත්අඩංගුවට පත්වන්නේ පසුකාලීනව සරත් ෆොන්සේකාගේ ජනපතිවරණ අපේකෂකත්වයට වැඩ කිරීමෙන් පසුය.
මෑතකදී සජබයේ සිට පොදු ජන පිළට පිල් මාරු කළ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පවසන්නේ මෙම නිදහස ලබාදීම පසුපස තමා සිටින බවයි.


“ඌවතැන්නේ හිමියන් 2010 ජනාධිපතිවරණයේ දී  ෆොන්සේකා මහතා වෙනුවෙන්  විශාල කැපවීමකින් වැඩ කොටසක් බාරගෙන කටයුතු කළා. උන්වහන්සේ නිරතුරුවම අප සමග සම්බන්ධ වී විවිධ අයුරින් අපට උදව් කළා.
කිසියම් සිද්ධියක් මත උන්වහන්සේට ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට අධිකරණය නියෝග කළා. නමුත් එම සිදුවීමට අදාල අනිත් සියලු දෙනා නිදොස් කොට නිදහස්
කළා. එතැන් සිට උන්වහන්සේගේ විහාරස්ථාන භික්ෂුන් වහන්සේලා සහ මෑණියන්ට විවිධ දුක් ගැහැටවලට ලක්වුණා. ඒ සෑම අවස්ථාවකදීම මම ඒ අය සමග හිටියා.
උන්වහන්සේගේ මෑණියන් දැඩි ලෙස අසරණ වුණා හිමියන් නිදහස් කර දීමට මැදහත් වන ලෙස අප
හමුවට පැමිණ ඇය හඬා වැලපුණා.
මගෙන් කළ ලිඛිත ඉල්ලීම මා ප්‍රථමයෙන්ම සමගි ජනබලවේගයේ සිටි කාලයේ දී අගමැතිවරයා වෙත බාර දුන්නා. ඉන්පසු ජනාධිපතිවරයා සමඟ ඒ ගැන සාකච්ඡා කළා. ඒ අනුව පූජ්‍ය ඌවතැන්නේ සුමන
හිමි ජනාධිපති සමාව යටතේ නිදහස් වේවි. මෙහිදී අහිංසක අසරණ මෑණියන්ගේ සතුට තමා මට තිබෙන ආත්ම ශක්තිය. මේ කටයුත්තට දායක වූ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අනෙකුත් සියලු පාර්ශවයන්ටත් පිං සිදු වෙනවා”