මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් එඩේරමුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයකු කොවිඩ් 19 ආසාදනය වී තිබිය දී වෙනත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඉකුත් 29 වැනිදා කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඇපා මහතා පැවසීය.  මේ බව අනාවරණය වීමෙන් පසු අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය. මෙම තැනැත්තා වැරදි වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් විදේශගතවන්නට ඇතැයි සිතන බව මිගාර ඈපා මහතා කීවේය.
එම තැනැත්තා විදේශගතවීමට පෙර ඉකුත් 24 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණයක් කරගෙන ඇති අතර එහි වාර්තාවට අනුව ඔහු කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු වෙනත් පෞද්ගලික රෝහලකින් යළිත් පී.සී.ආර්. පරික්ෂණයක් සිදු කිරිමේ දී ආසාදිතයෙකු නොවන බව පෙන්නුම් කොට තිබේ.


 මේ හේතුවෙන් ඔහු මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල්  ගමගේ මහතා හමුවට ගොස් ඇති අතර එම කාර්යාලය මගින්  යළිත් පී.සී.ආර්. කළ යුතු බව එහිදී පෙන්වා දී ඇත.  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදුකරනු ලබන පී.සී.ආර්. පරික්ෂණ වාර්තාව ලැබෙන තෙක් විදෙස්ගත වීමේ  වෛද්‍ය සහතිකය නිකුත් කළ නොහැකි බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුම්දීමෙන් පසු එම තැනැත්තා යළිත් පසුගිය 28 වෙනි දින එම කාර්යාලයේ දී පී.සී.ආර්. පරීක්ෂණය කරගෙන ඇත.  ආසාදිතයෙකු බව තහවුරු වී තිබූ බැවින් රෝගියා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරිමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එඩේරමුල්ල නිවසට ගිය අවස්ථාවේ ඔහු පෙරේදා රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව දැනගන්නට ලැබුණු බව වෛද්‍ය නිහාල් ගමගේ මහතා පැවසීය.  මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුවත් කිරිමට පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.

-තිලකරත්න දිසානායක -

-------
[Send your emails to editor - editor@gossiplankanews.com]