කොවිඩ් ආසාදනය වී ඇති බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් දැනුම් දී තිබුණු ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවකුට ශ්‍රීලංකාවේ දී නැවත සිදුකළ PCR පරීක්ෂාවෙන් ඔහුට කොරෝනා ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබෙනවා.
 
මේ සමගම ඔහු ගමන් කල ස්ථාන හා එම ස්ථානවල සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් ඇතිවී තිබේ. විශේෂයෙන්ම ඔහු ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ සහ කළමනාකාර අධ්‍යක්ෂ විපුල ගුණතිලක ඇතුළු ඉහල කළමනාකාරිත්වය සමග ගුවන් නියමුවන් හතලිස් ගණනක් සහභාගිවූ සාකච්ඡාවකට සහභාගී වී ඇත.

එම රැස්වීමෙන් පසු සභාපතිවරයා සහ ඉහල කළමනාකාරිත්වය තවත් වෘත්තීය සමිති ගණනාවක් සමග සාකච්ඡා පවත්වා තිබේ.


මේ නිසා එම වෘත්තිකයන්ට ද කොරෝනා අවදානම ඇතිවී තිබේ.

කොරෝනා ගැටලුවෙන් පසු සාමාන්‍යයෙන් ශ්‍රීලංකන් ගුවන් නියමුවෙකු ගුවන් ගමනක් නිමවා පැමිණි පසු ගුවන් සේවයේ කාර්යාලයකට නොයන අතර ඔහු මෙම රැස්වීමට කැඳවීම තුලින් ශ්‍රීලංකන් කළමනාකාරිත්වය විශාල අත්වැරැද්දක් සිදු කර ගෙන ඇත.

එසේම කොරෝනා නීතිරීති අනුව අදාළ රැස්වීම පැවැත්වූ කටුනායක ශ්‍රීලංකන් පුහුණු ඇකඩමියේ එවන් සාකච්ඡාවක් පැවැත්විය හැක්කේ එහි ඇති ආසන ප්‍රමාණයෙන් භාගයක පමණි. එහෙත් මෙම සාකච්ඡාව සඳහා විශාල ප්‍රමාණයක් සහභාගී වී ඇත.

එසේම ඔස්ට්‍රේලියාවෙන් අදාළ නියමුවාට කොරෝනා ආසාදිත බව දැනුම් දුන් වහාම ශ්‍රීලංකන් ගුවන් සේවය ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දිය යුතු වුවත් රාජ්‍ය ආයතනයක් ලෙස

ශ්‍රීලංකන් සමාගම එවැනි පියවරක් ගෙන නොමැති බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සමාගමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන අනෝමි ජයසිංහ වගකීම් විරහිතව ක්‍රියා කර තිබේ. මීට පෙරද ඇය කොවිඩ් ආසාදනය වන සේවකයන් සම්බන්ධයෙන් මාස දහයක් ගත වන විටත් නිසි ක්‍රමවේදයක් ඇති නොකිරීම නිසා ගුවන් නියමුවන් නිවාඩු දින වල සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පවා අවතීරණය විය. එසේම සමාගමේ කොරෝනා නිරෝධායන නීති වරින්වර වෙනස් කිරීම විවිධ පුද්ගලයන් සඳහා වෙනස් නීති අනුගමනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී තිබේ.

මෙවරද මේ සිද්ධිය යට ගසන්නට ඇතැමුන් ක්‍රියා කලද ඒ සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය මගින් අනාවරණය කිරීමත් සමග එම සිද්ධිය සම්බන්ධයෙන් පියවර ගන්නට සමාගමට සිදුවිය.


මේ අතර අදාළ ගුවන් නියමුවා කොළඹ සිට සිංගප්පුරුවටත් එතැන් සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයටත් නැවත මෙල්බර්න් නගරයේ සිට සිංගප්පුරුව වෙතත් එතැන් සිට ඉන්දියාවේ නවදිල්ලියටත් ගමන් කර නවදිල්ලියේ සිට ශ්‍රීලංකාවටත් ගමන් කර තිබේ. මේ නිසා සිද්ධිය තවත් බරපතලය.අනෙක් අතට මෙම සිද්ධිය ඕස්ට්‍රේලියානු බලධාරීන් කවර දිනයක කවර පුද්ගලයෙකුට මුලින්ම දැන්වූයේද යන්න පරීක්ෂාවක් කල යුතු බවට ශ්‍රීලංකන් වෘත්තීය සමිති පවසයි.

ඊට හේතුව මේ සම්බන්ධයෙන් වහාම නිසි පියවර ගත්තේ නම් මෙම නියමුවා සඳුදා පැවති රැස්වීම් වලට සහභාගී නොකර සිටීමට අවස්ථාව තිබුණි. කෙසේ වෙතත් මේ සියල්ල අනුව ශ්‍රීලංකන් බලධාරීන් හා කළමනාකාරිත්වය වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බව පෙනේ. එපමණක් නොව ඔවුන් දැනට මතුවී තිබෙන කොරෝනා ප්‍රශ්නයද තවමත් නිසි පරිදි කළමනාකරණය කර ගන්නා බවක් නොපෙනේ. මෙසේ විශාල සේවකයන් පිරිසක් කොරෝනාවට නිරාවරණය වීමේ වගකීම ගන්නේ කවුදැයි තමන් බලා සිටින බව ශ්‍රීලංකන් වෘත්තීය සමිති පවසයි.