කෘෂිකරිම අමාත්‍යාංශයට පසුගිය රජය සමයේදී රජයේ ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව රජයේ අරමුදලින් රුපියල් කෝටි 25කට වැඩි මුදලක් වැයකර පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම 

සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්විමට රජයේ ගිණුම් පිළිබඳපාපිලිගත්තු කාරක සභාව (8 ) පෙරේදා (19 තීරණය කළේය. රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (19) රැස්විය. 
ගැටලු සහගත කාරණා සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳ සිය මතය ඉදිරිපත් කිරීමට රජයේ නිලධාරීන්ට පවතින හැකියාව ගැන ප්‍රතිපත්තිමය තීරණයකට පැමිණිය යුතු යැයි ද එම කාරක සභාව තීරණය කර ඇත.


කෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විශේෂ සාකච්ඡාවට ලක්විය. ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා  විනිවිදභාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ද ඉක්මවා යමින් රජයේ අරමුදලින් රුපියල් කෝටි 152කට වැඩි මුදලක් වැයකර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් විමර්ශනයක් සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේධ පෙරේරා මහතා එහිදී පැවැසීය. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගෙන ඇත්තේ පසුගිය රජය සමයේ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව යැයි ද කාරක සභාවේදී අනාවරණය විය.


මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා නිසි ක්‍රමවේදයක් සැකැසීමේ අවශ්‍යතාව ද ඒ වෙනුවෙන් නව නීති රීති සහ ප්‍රතිපත්ති සැකැසීමේ අවශ්‍යතාව ද කාරක සභාවේ අවධානයට යොමු විය.  මේ අවස්ථාවට අමාත්‍ය උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වයි.ජි. රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, තිස්ස අත්තනායක, මහාචාර්ය රංජිත් බණ්ඩාර, බුද්ධික පතිරණ, එස්. ශ්‍රීධරන් යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.

 -සුජිත් හේවාජුලිගේ හා අංජුල මහික වීරරත්න-