ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේය.

මෙම වැක්සීනය බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා බලපත්‍රය යටතේ ඉන්දියාවේ සේරම් ආයතනය කෝවිෂීල්ඩ් නමින් නිපදවන අතර මේ දිනවල අසල්වාසී රටවල් වන භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට ඒවායින් සාම්පල තොගයක් පිටත් කර යවා තිබුණි.
ලංකාවේ භාවිතයට අදාළ සාම්පලයක් නිස්කාෂණ කටයුතු සඳහා එවා තිබූ අතර ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම ඖෂධයට අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇත්තේ එම සාම්පලය ඇසුරිනි.
ඒ අනුව  ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොරෝනා එන්නත් තොග ලංකාවට පිටත් කර එවීමට මේ අනුව පූර්ව අවසරය හිමව තිබේ.

ඉන්දියාවේ කොවැක්සින් නමැති අනෙක් එන්නතේ තොගද රටවල් වලට පිටත් කරන්නට යෝජිතය. එය  නිෂ්පාදනය කරනු ලබන්නේ භාරත් බයෝටෙක් නමැති ඉන්දීය පර්යේෂණ ආයතනයයි. එම එන්නත තවම පර්යේෂණ මට්ටමේ පවතී. කෙසේ වෙතත් හදිසි අවශ්‍යතා මත එම එන්නත ජනවාරි මුල් සතියේ ඉන්දියානු රජය බෙදාහැරීම සදහා අනුමත කළ අතර එම තීරණය විද්‍යාඥයින්ගේ නොසතුටට හේතු විය.
අසල්වාසි රටවලට ඉන්දියාව මෙම දෙවන ඖෂධයද යොමු කර ඇති බවට අපැහැදිලි සාක්ෂි හමුව තිබේ.