ගම්පහ මාකෙවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් ඊයේ (21දා) පෙරවරුවේ නිවස තුළ මියගොස් සිටියදී ගම්පහ පොලීසිය මගින් සොයා ගනු ලැබ තිබේ. 


 නිවස තුළ බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට ඇති අතර සැමියා එම නිවසේ සියදිවි නසාගෙන සිටියදී සොයාගෙන ඇති අතර දෙදෙනා අතර නිතර ආරවුල් පැවතීම මත බිරිඳ ඝාතනය කොට සැමියාද සියදිවි නසා ගන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
මෙම යුවළට වැඩිහිටි දියණියක් සිටින අතර ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බැවින් මෙදින නිවසේ සිට නොමැති බවද අනාවරණය වී යයි පොලිසිය පවසයි.

සියඹලාපිටියගේ දොන් ෂෙල්ටන් ඇලෙක්සැන්ඩ්‍රා නමැති 60 හැවිරිදි සැමියා සහ පරගහගොඩ ලියනගේ තුෂාරී ප්‍රියංගිකා නමැති 50 හැවිරිදි බිරිඳ මෙසේ මිය ගොස් ඇති බවද පොලීසිය පවසයි.
එම සැකකටයුතු මරණ දෙක සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරෙත් මහතා විසින් ඊයේ (21දා) සවස පවත්වා එම මළසිරුරු දෙක සහ ස්ථානීය පරීක්ෂණය සිදු කළේය. එම අඹුසැමි යුවලගේ සැකකටයුතු මලසිරුරු දෙක ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යන ලෙසට ගම්පහ පොලිසියට නියම කළ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා එම සිරුරු දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට නිලධාරිවරයාට නියම කළේය.

පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා එම මරණයට හේතුව පෙබරවාරි මස 03 වැනිදාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීට වැඩබලන මහේස්ත්‍රාත් වැඩිදුරටත් නියම කළේය. එම සැකකටයුතු මරණ දෙක සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන ලෙසත් සාක්ෂිකරුවන් සිටීනම් පෙබරවාරී මස 03 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා ගම්පහ පොලිසියට නියම කරනු ලැබීය.

ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ෂන අංශය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
- තිලකරත්න දිසානායක -