යාපනය අර්ධද්වීපය තුළ චීන රජය විසින් සිදුකරනු ලබන සංවර්ධන කටයුත්තක් මෙතෙක් ආරම්භ වී නැතත්
ප්‍රදේශය තුළ චීන ජාතිකයන් සියයකට වඩා සැරිසරන බව තමන් කළ විමර්ශනයකදී හෙළිවූ බව
ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා  24දා යාපනයේදී පැවැසීය.

යාපනයේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී  අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
මහතා කියා සිටියේ මේ චීන ජාතිකයන් නිතරම යාපනය නගරයේ සිටිනු දැකිය හැකි බවයි.


රජය චීන සමාගමක ආධාර මත යාපනයේ දූපත් පළාත්වල සුළං බල විදුලි බලාගාර පිහිටුවීමට යන බවත්
ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණේ මේ සතියේදී බවත් පැවසූ ප්‍රේමචන්ද්‍රන්් මහතා කියා සිටියේ
දැනට මාස ගණනක සිට චීන ජාතිකයන් යාපනයේ රැඳී සිටින්නේ මන්දැයි සොයා බැලිය යුතු බවයි.

යාපනයේදී දක්නට ලැබෙන චීන ජාතිකයන්  කොරෝනා නීති රීති කෙරෙහි කිසිදු අවධානයක් යොමුකරන බවක්
පෙනෙන්නට නැති බව සඳහන් කළ ඊ.පී.ආර්.එල්.එෆ්. නායකයා යාපනයේදී  නීති දෙකක් ක්‍රියාත්මක වන
මේ තත්ත්වය කෙරෙහි තම පක්ෂයේ අප්‍රසාදය රජය කෙරෙහි පළ කරන බවද පැවැසීය.

මුලතිව්, වැලිඔය හා වවුනියාව පළාත් සිංහල ජනාවාස බලහත්කාරයෙන් ඇති කිරීම සඳහා රජය
තෝරාගෙන ඇති බවත් මහවැලි අධිකාරිය, පොල් සංවර්ධන මණ්ඩලය, කජු සංස්ථාව, පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව ඒ කටයුතු සඳහා රජයට සහාය දෙන බවද  සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවැසීය.


වවුනියාව - රසාදි චතුරංගි ගමගේ