“කොවිඩ් 19" වයිරසයට එරෙහිව නිපදවා ඇති 'ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත විෂ වී අසාත්මිකතා හටගෙන, නොර්වේ රටේ 23 දෙනකු මියයාම සම්බන්ධයෙන්, ඕස්ට්‍රේලියා රජය ප්‍රශ්න කරයි. නොර්වේ රටේ සිදුවුණු එම මරණ 23 සම්බන්ධයෙන්, සිදුවූයේ කුමක්දැයි වහා ලොවට පැහැදිලි කිරීමට  ඇමෙරිකාවේ ‘ෆයිසර්' සමාගම පියවර ගත යුතු යැයි  ඕස්ට්‍රේලියා රජය පවසයි . ඇමෙරිකාවේ ‘ෆයිසර්' සමාගම මෙම ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇත්තේ
ජර්මනියේ “බයෝඇන්ටෙක් සමාගම සමඟ එක් වෙමිනි. 'ෆයිසර්' මේ වනවිට මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ඊශ්‍රායලය, කැනඩාව ඇතුළු රටවල්  රැසක් භාවිතයට ගෙන ඇත. ඒ, හදිසි තත්වයක් සේ සලකමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්වයක්  සේ සලකා භාවිතයට ගන්නැයි අනුමැතිය දී ඇති එකම එන්නත වන්නේ ද “ෆයිසර්" එන්නතය. එන්නත ලබා ගත් නෝර්වේ වැසියන් 23 දෙනකු මියගොස් ඇතැයි නොර්වේ සෞඛ්‍ය අමත්‍යාංශය තහවුරු කළේ පෙරේදා (16) ය. මියගිය 23 දෙනාගෙන් වැඩි දෙනා අවුරුදු 80 ට වැඩි වැඩිහිටියන්ය. ඕස්ට්‍රේලියා රජය “ෆයිසර්" එන්නත මිලදී ගැනීමට සූදානමින් සිටී. එන්නත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ නෝර්වේ වැසියන් මියයෑම සම්බන්ධයෙන් සියලු කරුණු කාරණා  නොසඟවා ලොවට හෙලි කරන්නැයි ඕස්ට්‍රේලියා  රජය,  ‘ෆයිසර්' සමාගමෙන් ඉල්ලා ඇත්තේ මේ නිසාය.

ඕස්ට්‍රෙලියා රජය සහ සෞඛ්‍ය අංශ එන්නත්  දෙකක් කෙරෙහි අවදානය යොමු කර තිබේ එයින් එකක් ‘ෆයිසර් එන්නත වන අතර අනෙක ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් ඇස්ට්‍රාසෙනකා" ඖෂධ නිෂ්පාදන  සමාගම සමඟ එක් වී නිපදවා ඇති එන්නතය. දැනට ඉදිරියෙන්ම ඇති සියයට 95 ක් සාර්ථක එන්නත ලෙස සැලකෙන්නේ ‘ෆයිසර්' එන්නතය. ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස  දිවුරුම් දීමට නියමිත ජෝ බයිඩන් ට ලබා දී ඇත්තේ ද මෙම ‘ෆයිසර්' එන්නතය.