අවන්ති දේවී කාන්තා ළමා නිවාසය පිහිටා තිබෙන්නේ අනුරාධපුර නගරයේය. විවිධ වයස් කාණ්ඩවල ගැහැනු ළමෝ පනහකට ආසන්න පිරිසක් මෙහි රැඳී සිටිති. ඒ විවිධ කරුණු කාරණා නිසාය.
 
 මෙම අවන්ති දේවි කාන්තා ළමා නිවාසය පාලනය වන්නේ අනුරාධපුර නගරයේ පිහිටුවා ඇති උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින්ය. එහි පරිපාලන නිලධාරීන්ගේ පරම යුතුකම වනුයේ මෙම අහිංසක ගැහැනු ළමයි සුරක්ෂිතව බලාගැනීමයි. එහෙත් එම නිලධාරීන් එවැනි කටයුත්තක් සිදු කරන බවක් නම් පෙනෙන්නට නැත. ඒ පිළිබඳව එක්තරා විද්‍යුත් නාලිකාවක් සාක්ෂි සහිතව පසුගිය දින කිහිපයක් පුරා රූපරාමු රැසක් පෙන්නුවේය.


 අපට ද දැනගන්නට ලැබුණු පරිදි මෙම ළමා නිවාසය තුළ කලක සිට විවිධ අක‍්‍රමිකතා රැසක් සිදුවේ. ඒ මෙහි සිටින දැරියන්ට සමහර පාලනාධිකාරි නිලධාරීන් නිසි ආදරයක් අනුකම්පාවක් නොදැක්වීම, ආහාර පාන ආදිය නිසි ලෙස ලබා නොදීම, ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා ඒවා ඉටුකර නොදීම සහ එම දැරියන්ට ලිංගික හිංසන සිදු කිරීමයි. මෙයින් නිගමනය කළ හැක්කේ මෙම ළමා නිවාසය තුළ එම දැරියන්ට කිසිදු ආරක්ෂාවක් නොමැති බවයි.
 
 ලිංගික හිංසනයට සහ විවිධ දුෂ්කරතාවන්වලට මුහුණදීමට සිදුවන මෙම දැරියන්ගේ දුක ඇසීමට බොහෝ වගකිවයුතු නිලධාරීන් ඉදිරිපත් වන්නේ නැත. එසේ ඇසුනත් ඔවුහු එය නෑසුනාසේ සිටිති. ඒ එම නිලධාරීන් ඒ තරමටම දූෂිත නිසාය.
 
 මෙම කාන්තා ළමා නිවාසය තුළ සතියට දවස් දෙක තුනක් මත්පැන් සාද පවත්වයි. ඒ සඳහා උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී වේ. සමහර නිලධාරීන් පැමිණෙන්නේ එම දෙපාර්තමේන්තුවේ නිල රථවලිනි.
 
 එලෙස පැමිණෙන එම නිලධාරීහු කාන්තා ළමා නිවාසය තුළ මත්පැන් පානය කරති. ගීත ගයති. නටති. පිස්සන් මෙන් හැසිරෙති. එයින් නොනවතින සමහරු එහි සිටින දැරියන්ට නොහොබිනා විහිළු තහළු සහ ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීමට උත්සාහ කරති.
 
 තවත් සමහරු රාත‍්‍රි කාලයේ දී මෙම ළමා නිවාසයට පැමිණ දැරිවියන් නිදා සිටි අයුරු බලා සිටිති. එයට අමතරව කවුලූ අස්සෙන් අත දමා එලෙස නිදා සිටින දැරියන්ගේ අඟපසග අතගෑම ද සිදුකරති. දැරිවියන් ඒ පිළිබඳව වගකිවයුතු නිලධාරීන්ට කොතරම් පැමිණිලි කළත් ඔවුහු කිසිදු පියවරක් ගන්නේ නැත. ඒ මන්දයත් එම සියලූ දෑ සිදුවන්නේ ඔවුන්ගේ අනුදැනුම මත නිසාය. තවද මෙම දැරියන්ට නිසියාකාරව ආහාර වේලද ලබා දෙන්නේ නැත. සමහර දිනවල ඔහුන්ට සිදුවන්නේ දංකුඩවලින් පමණක් කුස පුරවා ගැනීමටයි. එලෙසම සමහර නිලධාරීන් මෙම දැරියන්ට බැණ වදින්නේ ඉතාමත් පහත් ආකාරයටයි.
 
 මෙම කාන්තා ළමා නිවාසයේ දැරියන්ට සිදු වූ මෙම අසාධාරණකම්වලට සමහර නිලධාරීන් කිසිදු පියවරක් නොගැනීමට හේතු කීපයක් බලපෑ බව සඳහන් වේ. එයින් ප‍්‍රධානම කරුණ ලෙස සමහරු හඳුන්වන්නේ එම ප‍්‍රදේශයේ ප‍්‍රබල ඇමැතිවරයකුගේ ලේකම්වරයකු මෙම කාන්තා ළමා නිවාසයේ පාලනාධිකාරි නිලධාරිනියක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යෑමයි.
 
 එම ප්‍රේම සම්බන්ධතාවය නිසා ලේකම්වරයා තමන්ට සිතුන සිතුන වෙලාවට එම කාන්තා ළමා නිවාසයට පැමිණෙයි. ඒ දවල් කාලය ද රාත‍්‍රි කාලය ද කියා අදාළ නැත. ඔහු සමග පරිවාස කාර්යාලයේ සේවය කරන සමහර නිලධාරින් ද පැමිණෙති. එලෙස පැමිණ මත්පැන් සාද පවා පවත්වති.


 කලක් යද්දී එම ප‍්‍රබල ඇමැතිවරයාගේ ලේකම් පැවැත්වූ ප්‍රේම සම්බන්ධතාවය බිඳී යයි. එයින් කේන්තියට පත් වූ එම ලේකම්වරයා පෞද්ගලික විද්‍යුත් නාලිකාවකට කතා කර මෙම කාන්තා ළමා නිවාසයේ සිදුවන අකටයුතුකම් පිළිබඳව තොරතුරු ලබා දුන් බවට ද පැවසේ.
 
 ඉන්පසු ඔහුගෙන් ලද තොරතුරු මත පැමිණි එම විද්‍යුත් නාලිකාවේ මාධ්‍යවේදීන් මෙහි සිදුවන අකටයුතුකම් හොර රහසේ වීඩියෝ ගත කළ බව සඳහන් වේ. තවද මෙම කාන්තා සහ ළමා නිවාසයේ සිටි දැරියන්ට සිදු වූ ලිංගික හිංසනයන් පිළිබඳව එහි සිටි දැරියන් දෙදෙනකු මෙලෙස තොරතුරු අනාවරණය කර තිබුණි. එම එක් දැරියක් ඇයගේ වේදනා පැවසුවේ මෙලෙසිනි.
 
 ”දවසක් පිටතින් පැමිණි පුද්ගලයෙක් මටත් අයුතු යෝජනාවක් දැම්මා. ඉස්සෙල්ලාම මූණ දිහා බැලූවා. ඇස් ගහනවා. ඊට පස්සේ මම බැන්නා තියෙන වනචරකම කියලා. ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී අමරා මැඩම්ට කිව්වා. ඊට පස්සේ කොමසාරිස්තුමාටත් කියන්න ඇති සමහරවිට. ඊට පස්සේ ඉතින් මොනවා වුණාද දන්නේ නෑ.”
 
 ”තවත් එක දවසක් ට්‍රිප් එකක් ගිහින් හිටියේ නුවරඑළියේ. මම ඉස්සරහට ඇවිල්ලා ඉද්දි එක නිලධාරියෙක් මගේ ඇඟට අත තියලා කොහෙන්ද ආවේ සුරංගනාවියක් ද මොකද්ද එහෙම කියලා කිව්වා. ඒක දැක්කා කොමසාරිස් මැඩම්. ඒ වෙලාවේ එයාට බැණලා තිබුණා. දැන් කොමසාරිස් ළමයි කියන දේ නෙමෙයි අහන්නේ පරිවාස නිලධාරින් කියනදේ.”
 
 අනෙක් දැරිය ඇයගේ දුක පැවසුවේ මෙලෙසින්ය.
 
 ”ඒක කියන්න තේරෙන්නේ නෑ. කතා කරද්දි කුණුහරුපෙන් කතා කරන්නේ. ගහනවා. හරියට කන්න දෙන්නේ නෑ. එයාලා නිතරම මතක් කරලා දෙනවා අපිට අපි අම්මා තාත්තා නැති ළමයි. නිතරම එයාලා ඒක අපිට පෙන්නලා දෙනවා. ඒ පරිවාසේ ඉන්න කාලේ ඒක ඇතුළට මිනිස්සු එනවා. ඒක ඇතුළේ කිසිම ආරක්ෂාවක් නෑ. ජනෙල් බාගෙට තියෙන්නේ. ඒවා ඇරගෙන ?ට මිනිස්සු ඇවිල්ලා ඒකට එබෙනවා. ජනෙල් අයිනේ නිදියන් ඉන්න කට්ටියව අල්ලලා තියෙනවා. එක දවසක් ඇතුළටම ආවා. අඩුම ගාණේ අපිට ජනෙල් ටිකවත් හදලා දුන්නේ නෑ.
 
 මෙම ළමා නිවාසයේ සිටි දැරියකගේ මවකට ද මෙහි සේවකයකු සිදු කළ අයුතු යෝජනාවක් පිළිබඳව ද එම දැරිය මෙලෙස අදහස් පළ කළේය.
 
 ”මගෙත් එක්ක හිටියා නංගි කෙනෙක් වාසනා කියලා. එයාගේ අම්මා ලස්සනයි. ඒ අම්මට ඕනේ වුණා ඒ දුවව ගන්න. ඒ සර් අම්මට ළමයා ඕනනං එයත් එක්ක ලිංගිකව ඉන්න ඕනේ කියලා කිව්වා. ඒ වගේ සර්ලා තමයි මේක ඇතුලේ ඉන්නේ.”
 
 පරිවාස නිලධාරීන්ගේ ආශිර්වාදයෙන් මෙම ස්ථානයට පැමිණෙන කාමාතුරයන් නිසා මෙහි සිටින දැරියන්ට ලිංගික හිංසනයට මුහුණදීමට සිදුවන බව එහි සේවය කළ අයෙක් පැවසුවේ මෙලෙසින්ය.
 
 ”සමහර සේවකයෝ එක එක නරක කතා කියන්නේ ළමයින්ට. රාත‍්‍රී කාලයේ දී ජනෙල්වලින් එබිකම් කරල බලනවා. කොමසාරිස්තුමා ඒ වුණාට ඒවට දඬුවමක් දුන්නේ නෑ ඒ කට්ටියට උසස්වීම් දීලා තියෙන්නෙ. ඒ දේවල්වලට විරුද්ධ වෙච්ච අයට ස්ථාන මාරු දීලා අයින් කරන්නේ. ඒක දැනගන්න ඕනේ ජනාධිපතිතුමා, පරිවාස භාර ඇමැතිතුමා දැනගෙන මේ දරුවෝ බේරගන්න ඕනේ. ඒවා ගැන කතා කරන්න ගියෝත් මගේ රස්සාවත් නැති වෙන්න පුළුවන්.”
 
 තවත් මෙහි සේවය කරන එක්තරා නිලධාරියෙක් ළමයි විකුණන ජාවාරමක් කලක සිට සිදුකරන බවට අනාවරණය වී තිබේ. ඒ සඳහා ඉහළ නිලධාරීන්ගේ සහය ද නොමදව ලැබෙන බව ඔහු පවසයි. ඒ පිළිබඳව ද පරීක්ෂණයක් සිදු කරමින් පවතී. තවත් පිරිසක් පවසන්නේ එවැනි ජාවාරමක් කිසි දිනක සිදු නොවූ බවයි. එහි ඇත්ත නැත්ත තව නොබෝ දිනකින් අපට දැනගත හැකිය. ඒ කෙසේ වෙතත් මේ පිළිබඳව එම පෞද්ගලික විද්‍යුත් නාළිකාවෙන් අනාවරණය කිරීමෙන් පසුව ජනාධිපතිවරයාගේ අවධානය පවා ඊට යොමු වූ අතර විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා හා පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පවා එම ස්ථානයට ගොස් පරීක්ෂා කරන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවය.
 
 අවන්ති දේවි කාන්තා ළමා නිවාසයට ගිය විෂය භාර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා (දැනට නිරෝධායනය වෙමින් සිටින) මෙලෙස පැවසුවේය.
 
 ”උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ගැන පළමුවෙන්ම කනගාටු වෙන්න වෙනවා. ඔහු තම රාජකාරිය හරියට ඉටු කරලා නෑ. ඒක අනෙක් රාජ්‍ය සේවකයන්ටත් කරපු අගෞරවයක්. එයාට කොහොමත් මේකෙන් ගැලවෙන්න බැහැ. අපිට පැහැදිලිව පේනවා කොමසාරිස්වරයා කටයුතු කරලා තියෙන්නෙ වගකීමකින් තොරවයි කියලා.”
 
 ”තවත් නිලධාරීන් විශාල පිරිසක් මෙහි ඉඳල තියෙනවා. ඉඩම් කොමසාරිස් කෙනෙක්, ලේකම්වරයෙක් වැනි අයත් ඉඳලා තියෙනවා. මෙතන ගොඩක් ඉඳලා තියෙන්නේ පිරිමි නිලධාරීන්. ඒවා සාක්ෂි සහිතව අපි ළඟ තියෙනවා. මේ සියලූ දෙනාටම විරුද්ධව අපි නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරනවා.”
 
 ”මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට දැනටම අපි ස්ථාන මාරුවීම් ලබා දීලා තියෙනවා. එතනින් අපි නවතින්නේ නැහැ. දැනට මේ පිළිබඳව සොයා බලන්න කමිටුවක් පත් කරලා තියනවා. වරදකරුවන් වන සියලූම දෙනාට තරාතිරම නොබලා නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරනවා.”
 
 එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මේ පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් කළ අතර වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙහි නිලධාරීන්ට ස්ථාන මාරුවක් ලබාදෙන බවද සඳහන් කළේය. තවද පොලිස් ළමා හා කාන්තා ආයෝජන නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහ මහත්මිය පැවසුවේ මෙහි නීති විරෝධී ක‍්‍රියා සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. අනුරාධපුර අවන්ති දේවි කාන්තා ළමා නිවාසයේ ඇත්ත තත්ත්වය එයයි. දැන් එයට විසඳුමක් ලැබී ඇත. එය තාවකාලික නොව ස්ථිර විසඳුමක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. තවත් මෙවැනි අන්ත අසරණ, පිළිසරණක් නොමැති දැරියන් මෙරට කාන්තා ළමා නිවාසවල සිටිති. වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන්ම ඔවුන් කෙරේ අවධානයෙන් සිටින ලෙසයි.

 ගයාන් සමරසිංහ (දිවයින)