ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු රාජකාරි කරමින් සිටියදී එල්ල කළ පිහි ඇනුමකින් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පැවසීය. 

රාගම නගරයේ දී ඉකුත් 24 වැනිදා සවස 5.30ට පමණ මෙම පිහි ඇණුම සිදුව තිබේ. ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු වූ එච්.ඩී. තරිඳු නුවන් (32) නමැති අයකු මෙලෙස පිහි ඇනුමකට ලක්ව තිබිණි. පිහි ඇනුමට ලක්වූ සෞඛ්‍ය අංශයේ සේවකයා රෝහලේ දී පවසා සිටියේ, තමන් රාගම නගරයේ රාජකාරි කරමින් සිටියදී රාගම පොදු වෙළෙඳසලේ මස් කඩ හිමියකුගේ ගෝලයකු බහින් බස් වී තමන්ට පිහි පාරක් එල්ල කළ බවයි. ඒ අවස්ථාවේදී තවත් අයකු තමන්ගේ බෙල්ල තදින් අල්ලාගෙන
පිහි පහර එල්ල කළ තැනැත්තාට සහාය දැක්වූ බවද සෞඛ්‍ය සේවකයා පැවසීය. පසුව තමන් කෙසේ හෝ එම පිහිය පොලිසියට බාර දීමට ක්‍රියා කළ බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා මෙසේ කීය. “පිහි ඇණුමට ලක්වෙලා ඉන්නේ මගේ සෞඛ්‍ය සේවකයෙක්. ඔය පිහි ඇණුමට සම්බන්ධ මස් කඩයේ ටෙන්ඩරය ඉකුත් 31 වැනිදායින් පසුව අවසන් වුණා. පසුව එම කඩය සභාවට පවර ගන්න ආදායම් පරිපාලක ගිය අවස්ථාවේ එහි හිමිකරු ඔහුට බැන තර්ජනය කරලා දිගින් දිගටම මස් කඩය නීති විරෝධීව පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ බව රාගම පොලිසියට පැමිණිලි කර කඩය, එම රජයේ දේපළ ආපසු සභාවට ලබා ගැනීමට පොලිසියේ ආරක්ෂාව ඉල්ලා සිටියා. නමුත් ඒ ආරක්ෂාව නිසි ලෙස නොලැබී යාමේ ප්‍රතිඵලයක් තමයි මේ පිහි ඇණුම. තාමත් මෙම පිහි ඇණුමට ආධාර අනුබල දුන් අය පොලිසිය අත් අඩංගුවට ගෙන නෑ."

මේ සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේදී ඒ මහතා පවසා සිටියේ සිද්ධියට සම්බන්ධ පිහි ඇණුම කළ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගත් බවයි. එසේම තමන්ට මාධ්‍යයට ප්‍රකාශ ලබාදීමට නොහැකි බවද ඒ සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිටින බවද ස්ථානාධිපතිවරයා පැවසීය.
- ප්‍රසංග පෙරේරා -