මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් නිලධාරින් හා ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් එක්ව සිදු කළැයි කියන මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියට සම්බන්ධව රටින් පලා ගොස් සැගවී සිටින ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (25) ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළේය.  මෙලෙස ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරම විදේශයක සිටිමින් මෙහෙයවූ බව කියන මෙම සිද්ධියේ 14 වන සැකකරු වශයෙන් නම් කර සිටීන උදාර සම්පත් නමැත්තාටය. මෙම සැකකරු විදෙස්ගතව සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක්
සැලකිල්ලට ගත් අධිකරණය මෙම ජාත්‍යන්තර වරෙන්තුව නිකුත් කළේය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා  වෙත යොමු කර තිබු වාහන තුනක රස පරික්ෂක  වාර්තා ලැබී ඇති බව නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ තවත් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන බඩෝවිට ලොකු නොහොත් රාජිත අසංක යන අය ද මෙම සිද්ධියේ සැකකරුවකු වන අතර ඔහු ද මෙරටින් පලාගොස් සැඟවී සිටින බවය. ඒ අනුව එම සැකකරු වෙනුවෙන් ද ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන ලෙසට ඉදිරි දිනයේදී අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.



මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පොලිස් විශේෂ බළකායේ උප පොලිස් පරික්ෂක කලුපහනගේ අජිත්  ප්‍රේමලාල් යන අය ඉදිරියේදී මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට ද අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවැසිය.  එසේම මෙම නඩුවට සමගාමීව මුදල් විශුද්ධීකරණය යටතේද සැකකරුවන් නව දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ද ඊයේ කැඳවනු ලැබූ අතර මේ වනවිට මේ සම්බන්ධව ද වැඩිදුර විමර්ශනය කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවැසීය.


ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය ලබන 02 වැනිදා තෙක් කල් තබා සැකකරුවන් එදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.  මෙම නඩුවේ 16 හා 17 වන සැකකරුවන් ලෙස නම් කර සිටින බෝට්ටුකරුවන් එදින පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය.


-නිමන්ති රණසිංහ-