රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ ඉහළ නිලධාරියකු විසින් එම නිවාසයේ නේවාසිකව රැඳී සිටි
ආබාධිත රෝගී කාන්තාවකට කිසියම් ලිංගික අතවරයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්
පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක් ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඊයේ (25දා) ඇරැඹීය.



හතළිස් පස් හැවිරිදි මෙම රෝගී කාන්තාව අදාළ නිලධාරියාගේ කාමරයට ගිය අවස්ථාවේ ඇගේ සිරුරේ
තිබූ බිබිළි  තත්ත්වයක් පරීක්‍ෂා කරන මුවාවෙන් කාමරයේ ‍ෙදාර වසා කිසියම් ලිංගික අතවරයක් ඇයට
කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා
කුමාරි රණසිංහ මහත්මියගේ උපදෙස් මත වැලිකඩ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන්
විසින් ලිංගික හිංසනයට පත්වූ බව කියන කාන්තාවගෙන් ප්‍රකාශද සටහන් කරගෙන ඇත.


මේ අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරිය ප්‍රකාශ
කළේ ලැබුණු පැමිණිල්ලේ සත්‍ය අසත්‍යතාව සොයා ගැනීම සඳහා මෙම විමර්ශනය ඇරැඹූ බවය. අදාළ
නිලධාරියාගේ ක්‍රියාකලාපය ගැන පැහැදීමක් නැති සමහරක් නේවාසිකයන් ඔහු ලැජ්ජාවට පත්කිරීමේ
අරමුණෙන් හෝ ඔහු එම ස්ථානයෙන් මාරු කර යැවීමේ අදහසින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේද යන්න සොයා
බැලීම මෙම විමර්ශනයේ මූලික අරමුණ බවත් ඇය කියයි.

ඉතා පැරැණි වැඩිහිටි නිවාසයක් වන රාජගිරිය වික්ටෝරියා නිවාසය තුළ නේවාසිකව 137 දෙනකු පමණ
පිරිමි හා කාන්තා පාර්ශ්ව රැඳී සිටින අතර ඔවුන් අතර වැඩිහිටියන් මෙන්ම ආබාධිත වූ අයද වෙති.

සිද්ධියට භාජන වූ රෝගී කාන්තාව සිදුවූ නොමනා ක්‍රියාව සම්බන්ධයෙන් වැඩිහිටි නිවාසයේ සිටින තවත්
ආබාධිත අයකුට ඒ සම්බන්ධයෙන් පවසා ඇති අතර ඔහුද ඇය පැවැසූ දේ පටිගත කර ළමා හා කාන්තා
කාර්යාංශයේ නිලධාරීන්ට භාරදී ඇතැයි වාර්තාවේ.

ලිංගික හිංසනයට ලක්වූයේ යැයි කියන කාන්තාව ඊයේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කොට වාර්තාවක්
ලබාගැනීමට කටයුතු කළ බවද ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරිය කීවාය.

ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මියගේ
උපදෙස් මත වැලිකඩ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

කීර්ති මෙන්ඩිස්