ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්මිය තමන්ට අයත් බණ්ඩාරගම, ගගබඩ පාරේ පිහිටි දෙමහල් නිවස ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට පරිත්‍යාග කරඇත. එය ආදර්ශ පුස්තකාලයක් හා සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර ‘රන්ගිර - සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාලය” නමින් විවෘත කිරීම විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඇගේ ජන්ම දිනය යෙදුණු ඉකුත් 19 වැනිදා සිදුකෙරිණි.
සෝමා ජයකොඩි මහත්මිය විසින් රචිත කෘති 376ක්, ඒවායේ අත්පිටපත් මෙන්ම ඇය විසින් පරිත්‍යාග කරන ලද කෘති 3000 ක් පමණ සහ ඇයට හිමි වූ සම්මාන ආදී සියල්ල මෙහි තැන්පත් කර තිබේ. මෙම විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ සාහිත්‍යවේදියකුට ප්‍රධාන අරමුණු දෙකක්  ඇති බවත්, තම   මතවාදය ජනගත  කරමින් ජනතාව තුළ යහපත් සංකල්ප ඇති කිරීම  හා ලේඛක සාහිත්‍ය පරම්පරාව ඉදිරියට ගෙනයාම එම අරමුණු දෙක බවත්ය.

ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයකු ලකුණු 342ක් වාර්තා කළේ නම් එය බීබීසී ප්‍රවෘත්තිවලත් ප්‍රධාන ප්‍රවෘත්තියක් වන බව කී ඇමතිවරයා ග්‍රන්ථ 342ක් රචනා කළ ලේඛිකාවක පිළිබඳව සමාජ සංවාදය අඩුවීම කනගාටුවට කරුණක් බවත් සඳහන් කළේය.  පුස්තකාල විද්‍යාව හදාරන්නන්ට, අධ්‍යයන කටයුතුවල නිරත වන්නන්ට ආදී සෑම පාර්ශවයකටම මම පුස්තකාලයේ ප්‍රයෝජන ලැබිය හැකි බව ද ඇමැතිවරයා කීවේය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ නූතන පරම්පරාවේ දරුවන් කියවීමෙන් ඈත් වී ඇතැයි සමාජය සිතුවත් කොරෝනා වසංගතය සමයේ පොත් 42,000ක් ලියා ගිනස් වාර්තාවක් පිහිටුවීමෙන් මෙරට දරු පරපුර එසේ වී නොමැති බව ඔප්පු කර ඇති බවයි.



තමන් උසස් පෙළ ශිෂ්‍යයකු වී සිටි සමයේ යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධියෙන් දැඩි ලෙස කම්පාවට පත්වූ බවත්, ඉන් වසර ගණනකට පසු මෙම පුස්තකාලය විවෘත කර උතුරා යන සතුටක් විඳි බවත් ඇමතිවරයා පැවසීය.  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එවා තිබු සුබ පැතුම් පණිවුඩය ද මෙහිදී අමාත්‍යවරයා ඉදිරිපත් කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ   මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ  මෙහිදී විශේෂ සාහිත්‍ය දෙසුමක් පැවැත් වූහ.  ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති  සොනාල ගුණවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.


-ඩයනා උදයංගනී-