දකුණු අප්‍රිකානු සංචාරයට ගිය ක්‍රීඩකයන් 21 දෙනාගෙන් හත් දෙනකුම ආබාධ ලැයිස්තුවට ඇතුළත් වූ නමුත් එංගලන්ත පිලට එරහිව හෙට (14) වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කළ හැකි යයි ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු රඳවාගෙන සිටී. 

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගාවලියකි. මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ 7 වැනි ස්ථානය දක්වා පහළට වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තුවක් ඇත්නම් ඒ පසුගිය වතාවේදී එංගලන්තය හමුවේ ලද 3-0 ක තරගාවලි පරාජයේ අවමානයත්, තවමත් මාසයක් ගතවී නැති, දකුණු අප්‍රිකානුවන් හමුවේ ලද පරාජයේ අවමානයත් අකාමකා ගැනීම මිස අනෙකක් නොවේ.


පන්දු යවන්නන් එකා මත එකා ඇදගෙන වැටීම හේතුවෙන් පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේදීත් පන්දු යැවීමේ බර දරාගැනීමට තරම් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා පිලට නොසිටීමෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය 2-0 ක් ලෙසින් පරාජය විය. ඒ කණ්ඩායමම දකුණු අප්‍රිකාවේ සිට විශේෂ ගුවන් යානයකින් මත්තලට පැමිණ මේ දිනවල ගාල්ලේදී පුහුණුවීම් කරමින් සිටී.

එංගලන්තයට එරෙහිව සූදානම ආරම්භ වූයේ “දකුණු අප්‍රිකාවේදී තුවාල ලත් ලැයිස්තුවට ඇතුළත් වූ කිසිම කෙනෙක් එංගලන්තයට එරෙහි තරගාවලියට එපා" යි කියමිනි. එහෙත් ආබාධ ලැයිස්තුවෙන් කසුන් රාජීත සහ ධනංජය ද සිල්වා හැරෙන්නට සෙස්සෝ යළිත් වරක් සංචිතයට එක්ව සිටිති. ඩිල්ෂාන් මධුශංක පමණක් තරගයක් හෝ ක්‍රීඩා නොකරම සංචිතයෙන් හැළී ගොසිනි. රොෂේන් සිල්වා, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් සංචිතයට එක්ව සිටිති.

කිසියම් තරගාවලියකට පෙර එම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 5 ක් හෝ 16 ක සංචිතයක් නම් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායක් වන නමුත් මෙවර තරගාවලිය සඳහා සංචිතය නම්කර නැත්තේ කොරෝනා වයිරසයේ බලපෑම නිසා නම් නොවේ. ක්‍රීඩකයන්ගේ ආබාධ ලැයිස්තුව කොයි මොහොතේ දිගු වේවිද යන්න පිළිබද විස්වාසයක් නැති බැවිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තවමත් පූර්ණ සුවය ලබා නැති අතර එකා දෙන්නා යන්තමින් හිස් ඔසවමින් සිටිති. ඔවුන් සංචිතය තුළ රඳවාගෙන ඇත්තේ සුවය ලබන්නේ නම් දෙවැනි ටෙස්ට් තරගයේදී හෝ 11 දෙනා අතරට කැඳවාගත යුතු බව තේරීම් කමිටු නිලධාරින්ගේ අපේක්ෂාවයි.


“තුවාලකරුවන්ගේ තත්ත්වය දැන් තරමක් හොඳ අතට හැරෙමින් තියෙනවා. සුරංග ලක්මාල් වගේම ළහිරු කුමාරත් දැන් පන්දු යැවීම ආරම්භ කරලා තියෙන්නේ. ඕෂධ ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් දැන් පන්දුවට පහර දෙනවා. ඔවුන් දිවීමත් ආරම්භ කරලා තියෙනවා. මා ඔවුන්ට කතා කළාම තත්ත්වය හොඳයි කියලා ඔවුන් කිව්වා" යයි කී තේරීම් කමිටු සභාපති මෙන්ම කන්ඩායමේ කළමණාකරුවාද වන අසන්ත ද මැල් මහතා, “ඇන්ජලෝ මැතිව්ස් එක්ක අනෙක් අය ආවාම, දකුණු අප්‍රිකාවේ සංචාරයට ගිය කණ්ඩායමට වඩා හොඳ කණ්ඩායමක් හොයාගන්න අපට පුළුවන්” යයි පසුගිය ඉරිදා ඩේලි එෆ්.ටී. පුවත්පතට පවසා තිබිණ. 

දකුණු අප්‍රිකානු සංචාරයට ගිය තවත් ක්‍රීඩකයෝ කිහිප දෙනකුම තරගයක් හෝ ක්‍රීඩා නොකර ආපසු පැමිණි අතර සුරංග ලක්මාල් සහ ඕෂධ ප්‍රනාන්දු දකුණු අප්‍රිකාවේදීම ආබාධවලට ලක්වූහ. දිනේෂ් චන්දිමාල් සහ ළහිරු කුමාර දදෙනාම සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී පාදයේ කලව පිටුපස මස්පිඩුව ඉරීයාමේ ආබාධයට ලක්වූහ. එල්.පී.එල් තරගාවලිය නිමාවේදී ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ද ක්‍රමයෙන් සුවය ලබමින් පසුවෙයි. මෙම තත්ත්වය හොඳින්ම දන්නා එංගලන්ත කණ්ඩායම සූදානම් වන්නේ පවතින තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටය. සාමාන්‍යයෙන් දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වන ගාල්ල ක්‍රීඩාංගණ තණතීරුව පළමු දින දෙකේදී පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය ස්වභාවයක් ගනී. හොඳින් හිරු පායා තිබේ නම් පළමු දින දෙකේදී ගාල්ල ක්‍රීඩාංගණයේදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව මත තරගයේ ජයග්‍රහණය රැඳී පවතී.

එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ නායක ජෝ රූට් දෙදෙනා තණතීරුවට ඉතාමත් ළංවී එය පරික්ෂා කර බලන්නේ මෙම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමේ අටියෙනි.


නිල වශයෙන් නම් නොකළ නමුත් මේ වන විට ශ්‍රී ලංකා සංචියට ඇතුළත් වන ක්‍රීඩකයෝ

දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දණීය, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, සන්තුෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස්.
- දමින්ද විජේසූරිය -