දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී ලැබූ ප්‍රතිඵලය පිළිබඳ දුක් වුවත් ශ්‍රී ලංකාවට සතුටුදායක දේ කිහිපයක්ද තරගවාලියේදී අත්දුටු බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පැවසීය.

තරගාවලිය තරග 2-0 ලෙස ලද පරාජයෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.

"අපි මාස 9කට පස්සේ තමයි අන්තර්ජාතික තරගයකට මුහුණ දුන්නේ. ඒත් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ රටේදීයි. ඒක ලේසි නෑ. අපි ගොඩක් හොඳට ආරම්භයක් ගත්තා. නමුත් අවාසනාවන්ත විදිහට ආබාධ කිහිපයක් නිසා අපේ හොඳම කණ්ඩායම අපිට අහිමිවෙලා ගියා. තරගාවලිය ගත්තොත් හොඳ පැතිත් කිහිපයක් තියෙනවා.

කුසල් ජනිත් ලකුනු අතරේ ඉන්නවා. විශ්ව ප්‍රනාන්දු,
අසිත ප්‍රනාන්දු හා වනිඳු හසරංග වගේ අය හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේම දකුණු අප්‍රිකාව ඇතුළේ දී වාර්තා කිහිපයකුත් අපි අරගෙන තියෙනවා. වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී අපි වැඩිම ලකුණු ගත්තා. අවාසනාවකට තිබුණ ආබාධ තත්වයන් වගේ දේවල් නිසා අපිට දිගටම හොඳ දේවල් කරන්න ලැබුණේ නෑ. නායකයෙක් විදිහට ලබා ගත්ත ප්‍රතිඵලය ගැන ගොඩක් දුක් වෙනවා. නමුත් අපිට සුබවාදී දේවල් විදිහට දක්ෂ තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් හමුවුණා ඉදිරියේදී යොදා ගන්න පුළුවන් මට්ටමේ. ඒ වගේම ශතකය ගැනත් ගොඩක් සතුටුයි. මොකද මම දකුණු අප්‍රිකාවේදී එතරම් ලකුණු රැස් කරල නෑ. නැවතත් ලකුණු අතරට එන්න ලැබුණ එක ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා.

එමෙන්ම දෙවැනි තරගයේදී සිය ඇඟිල්ලේ සිදුවූ ආබාධය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ දිමුත්,

"මගේ ඇඟිල්ලේ පොඩි අස්ථි බිඳීමක් තියෙනවා, ඒ සම්බන්ධයෙන් එක්ස් රේ වාර්තාවකුත් ඉදිරියේදී ගන්නවා. නමුත් මම හිතනවා එංගලන්ත තරගාවලියේදී මම සුවය ලබයි කියලා.” යනුවෙන් පැවසීය.

මෙහිදී දෙවැනි තරගයේ දෙවැනි ඉනිමේදී තමන් රැස් කළ ශතකය පිළිබඳවද අදහස් දැක්වූ දිමුත්,

"දකුණු අප්‍රිකාවේදී මම ඇවිත් ක්‍රීඩා කරපු හැම ඉනිමකදීම මට හොඳ ආරම්භයක් තමයි මගඇරිලා තියෙන්නේ. අනිත් එක මම ගොඩක් පීඩනයකින් හිටියේ. ගොඩ කාලෙකින් සෙල්ලම් කරල නැතුව ඇවිත් මේ වගේ තණතිල්ලක සෙල්ලම් කරන කොට ඕනම කෙනෙකුට පොඩි පීඩනයක් තියෙනවා. මම බැලුවා මගේ මොනවද අඩුපාඩු කියලා. පළවැනි පන්දුවාර 15දී මම ගොඩක් ලොකු සැලසුම් තියාගෙන හිටියේ නෑ.

නමුත් ධනාත්මකව ක්‍රීඩා කරන්න බැලුවේ ගොඩක් පහරවල්වලට නොගිහින් එහෙම. නමුත් තරමක් කඩුල්ල හුරු වුණාට පස්සෙ මට තේරුණා මේ කඩුල්ලේ ගහන්න ඕන විදිහ. ඕනම වෙලාවක හොඳ පන්දුවක් වැටෙන්න පුළුවන් දැවී යන්න. නමුත් මම බැලුවේ පන්දු යවන්නන් ඉලක්ක කරලා මට ලකුණු ගන්න පුළුවන් පන්දුවලින් ලකුණු ගන්න. ඒක තමයි මගේ සාර්ථකත්වය. අනික මට අධිෂ්ඨානයක් තිබ්බා අඩුම තරමේ මම ලකුණු සීයක් ගහන්න ඕන කියන එක.


මෙහිදී තරගාවලිය පුරා යොවුන් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා දිමුත්ගේ ඇගයීමට ලක්විය.

"මම ඇත්තටම සතුටුයි යොවුන් ක්‍රීඩකයො ක්‍රීඩා කරපු විදිහට. විශේෂයෙන් වනිඳු ගත්තොත් පළමු තරගයේදී ඉඳන් අපිට පෙන්නුවා ඔහු හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කියලා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නෝ වන සුරංග හා ළහිරු නැති වුණාම විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දු දෙන්නා හොඳ කාර්යයක් කරා මේ කඩුල්ලේදී. අනිත් එක අපිට හොඳ පිතිකරණ සබඳතාවක් තිබුණේ නෑ. අපි ඒ ඔක්කොම අපේ පිතිකරණ පුහුණුකරුත් එක්ක කතා කරල එංගලන්ත තරගාවලියට සුදානම් වෙන එක තමයි බලාපොරොත්තුව.


මේ අතර එංගලන්ත තරගාවලියට පෙර කණ්ඩායමේ ආබාධ තත්වයන් පිළිබඳවද සඳහන් කළ දිමුත්,

"තරගාවලියට තව දින කිහිපයක් තියෙන නිසා කණ්ඩායමේ මොන මොන ක්‍රීඩකයන් ක්‍රීඩා කරයිද කියන කාරණය මට තාමත් කියන්න බෑ. මම හිතන්නේ දිනේෂ් චන්දිමාල් නැවතත් පිතිකරණයේ යෙදෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් ලංකාවේ පුහුණුවීම් සිදු කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම රොෂේන් සිල්වා හා නුවන් ප්‍රදීප් කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා. ආබාධ පැත්ත ගත්තොත් ධනංජය ද සිල්වා, කසුන් රාජිත, ඕෂධ ප්‍රනානදු වගේ ක්‍රීඩකයෝ තමයි අපිට නැති වෙන්නේ. මම හිතනවා අපිට එංගලන්ත තරගාවලිය වෙද්දී අපේ ශක්තිමත් 11 දෙනා කණ්ඩායමේ හදා ගන්න පුළුවන් වෙයි කියලා.

මේ අතර තරගාවලියේදී කුසල් මෙන්ඩින්ගේ පිතිකරණය සම්බන්ධයෙන්ද දිමුත් අදහස් දැක්වීය.

"ක්‍රීඩකයෝ හොඳට හෝ නරකට කරන වෙලාවල් තියෙනවා. අපි ගත්තොත් කුසල් මෙන්ඩිස් දක්ෂතා දක්වලා තියෙනවා වුණත් දිගින් දිගටම ඒ තත්වය පවත්වා ගන්න බැරිවෙලා තියෙනවා. අපි දකිනවා ඔහු ගොඩක් පීඩනයෙන් ඉන්නේ. ඒ වෙලාවට තමයි ඔහුට ලකුණු අතරට එන්න බැරි. අපි බලනවා ඔහුට පොඩි විවේකයක් ලබා දීලා සුපුරුදු රිද්මය අතරට ගෙන එන්න. කුසල් මෙන්ඩිස් දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න හොඳ පිතිකරුවෙක්. අපි එංගලන්ත තරගාවලියේදී ඔහුට අවස්ථාවක් දෙනවද කියන කාරණය ඉදිරියේදී සාකච්ඡා කරනවා." යැයි පැවසීය.


- ඕෂිත වරකපිටිය -