අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ දැරියන්ට මනෝ උපදේශනය සහ යෝග ව්‍යායාම ලබා දෙන මුවාවෙන් ලිංගික අතවර කළැයි අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යත්‍රෝපකරණ ඒජන්සියේ හිටපු ආරක්ෂක කළමනාකරු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඊයේ (18) නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ‍ ඒජන්සියේ ආරක්ෂක කළමනාකරුවකු ලෙස සේවය කළ නලින්ද කැලුම් සේනානායක නමැත්තාය. මෙම ළමා නිවාසයේ දැරියක උණ රෝගයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියදී මෙම සැකකරු එම දැරිය රෝහලෙන් ඉවත් කරගෙන ඔහුගේ නිවසට රැගෙන ගොස් අතවර කර ඇති බවට
කරුණු අනාවරණය වී ඇතැයි ද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සැකකරු මනෝ උපදේශනය සහ යෝග ව්‍යායාම ලබා දීම සඳහා අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයට ගොස් සිටි අවස්ථාවේ මෙම දැරිය දැන හඳුනාගෙන ඇතැයි ද පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කළේය. මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුවෙමින්  පවතින බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එසේම, මොහු අනුරාධපුර සහිරා දෙමළ ජාතික පාසලේ පුටු තොගයක් පැහැරගෙන ගොස් පෞද්ගලික උපකාරක පන්ති මෙහෙයවන පුද්ගලයකුට අලෙවි කළැයි කියන සිද්ධියක ප්‍රධාන සැකකරු වන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අධිකරණ අංශයේ උප පොලිස් පරික්ෂක අලහකෝන් සහ පොලිස් සැරයන් දයානන්ද යන මහත්වරු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.


අවන්ති දේවි කාන්තා ළමා නිවාසයේ දැරියන් 11 දෙනකු කෘෘරත්වයට පත් කළැයි එම ළමා නිවාසයේ පාලිකාව ලබන 26 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය ඊයේ (18) නියෝග කළේය.

ඒ අනුව මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වීරසිංහ පේඩිගේ අමරා වීරසිංහ නමැත්තියයි.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්, නීතිඥ නලින් දිමුතු බණ්ඩාර සහ නීතිඥ ඉඳුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ. අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති ලංකා ගීගනගේ සහ අනුරාධපුර මූලස්ථාන පොලිස් පරික්ෂක සංජීව මහානාම යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.
- නිමන්ති රණසිංහ -