කිසියම් අයකුට අනතුරක් වේ යැයි සිතා මහමග වැටී තිබූ විදුලි රැහැනක් ඉවත් කිරීමට ගිය පුද්ගලයකු, විසන්ධි නොවී තිබූ විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිරිහාන පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ දැරණියගල, දෙල්මළුව, වල්පොල, අංක ඊ/60/5ඒ හි  පදිංචි  හිටිගෙදර මුදියන්සේලාගේ උපාලි රංජිත් 42 හැවිරිදි විවාහකයකු බව  පොලීසිය කියයි. මෙම පුද්ගලයා අංගොඩ ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක සිට මිරිහාන ප්‍රදේශයේ නිවසකට ටිපර් රථයකින් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී, මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. එහිදී බැද්දගාන හන්දිය ආසන්නයේ මාර්ගය හරහා විදුලි රැහැනක් වැටී තිබී ඇති අතර ඉන් පදිකයින්ට අනතුරක් 
වේයැයි සිතා එය ඉවත් කිරීමට යාමත් සමඟ විසන්ධි නොවී තිබූ විදුලි සැර වැදී අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.


ඉන් අනතුරට පත් පුද්ගලයා මහමග වැටී  සිටියදී මාර්ගයේ ගමන් ගත් වෙනත් පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් බාරදී ඇති අතර එහි හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව පැවසේ. මියගිය පුද්ගලයා සන්තකයේ තිබූ දුරකතන අංකයකට දන්වා ඥාතීන් කැඳවා දේහය හඳුනාගැනීමෙන් අනතුරුව කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු විපුල නරසිංහ මහතා විසින් දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂණ අධිකරණයේදී සිදු  කෙරිණි.


එහිදී මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජේ.පී. අබේසිංහ මහතා නිකුත් කළේය. ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තව හා සාක්ෂි සැලකිල්ලට ගනිමින් මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව  නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් අනතුර සිදුවූ බල ප්‍රදේශය අයත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයාගේ වාර්තවක් ලබන මස 6 වැනිදාට කැඳවන  ලෙසට හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු විපුල නරසිංහ මහතා පොලීසියට නියෝග කළේය.

 -ශාන්ත ප්‍රදීප් කුමාර-