නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයට එරෙහිව නිපදවා ඇති එන්නත් සියල්ලම මේ වනවිට එම එන්නත් නිපදවන පොහොසත් රටවලට පමණක් ලැබෙන බවත්, තම රට වැනි රටවලට එම එන්නත් සැපයීමේ අඩුපාඩුවක් පවතින බවත් මොරොක්කෝ අගමැති සාද් ඩිනේ අල් ඔට්මානි පවසයි.


පසුගියදා එරට පාර්ලිමේන්තූව අමතමින් අගමැතිවරයා මෙම චෝදනාව ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන්ම මොරොක්කෝව තුළ මෙම COVID-19 එන්නත්කරණය ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් සිය රජයේ වැරැද්දක් නොමැති බව පවසමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර ඇත. අගමැතිවරයා සදහන් කරන ආකාරයට මොරොක්කෝව දැනටමත් බ්‍රිතාන්‍යයේ AstraZeneca සහ චීනයේ Sinopharm යන එන්නත් මාත්‍රා මිලියන 65ක් ඇනවුම් කර ඇති නමුත් මෙතෙක් ඒ කිසිදු සැපයුමක් තම රට වෙත නොලැබුණු බව පැවසෙයි.

"මේ තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ රටවල් දැනටමත් චෝදනා කරමින් ඉන්නේ. පොහොසත් රටවල් දැනට මේ එන්නත්වල වටිනාකමට වඩා පස් ගුණයක වටිනාකම් ගෙවමින් එන්නත් තමන්ගේ රටවලට ගෙන්වා ගන්නවා. ඒවගේම, මේ එන්නත් නිපදවන රටවල් ඒවා අපනයනය කරන්න කලින් තමන්ගේ රටේ ජනතාවට ලබාදීම සිදු කරනවා. එය නම් ස්වභාවිකයි.” අගමැතිවරයා පවසා තිබේ.

මොරොක්කෝ රජය පසුගිය වසර අවසානයේදී මෙම එන්නත්කරණය ආරම්භ කරන බවට එරට ජනතාව වෙත පොරොන්දු දුන් අතර, එහිදී වයස අවුරුදු 18 වඩා වැඩි මිලියන 25ක පිරිසකට එන්නත ලබාදෙන බව රජය පවසා තිබුණි.