කෝවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙරට ගුවන් මෙහෙයුම් සිදු කළ ජාත්‍යන්තර ගුවන් සමාගම් 35ම නැවත මෙරට ගුවන් මෙහෙයුම් ඇරඹීමට එකඟත්වය පළ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
 
සංචාරකයන්ට රට විවෘත කරමින් වාණිජ ගුවන් ගමන් ආරම්භ කළ ඊයේ දිනය (21දා) තුළ පමණක් වාණිජ ගුවන් ගමන් 15ක් පමණ සිදු වූ බවද ඒ මහතා සඳහන් කළේය.

සංචාරකයන්ට රට විවෘත කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හා සංචාරකයන් මෙරටට පැමිණිමේදී සංචාරක සේවා සපයන ආයතන අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇමතිවරයාට පිළිගැන්වීම සඳහා ඊයේ (21දා) උදෑසන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති උත්සවයකදී රණතුංග මහතා මේ බව සඳහන් කළේය. සංචාරක සංවර්ධන අධිකාරිය එය සංවිධානය කර තිබුණි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,

"මේක ජාතික යුතුකමක් සහ වගකීමක් හැටියට අපේ අමාත්‍යාංශය හඳුනාගත් නිසා මාස 10ක් තිස්සේ සංචාරකයන්ට වසා දමා තිබූ රට අද සිට නැවත විවෘත කරනවා. අපේ එකම අරමුණ සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කෝවිඩ් වසංගතය බෝවීම වැළැක්වීමයි. ඒ සඳහා අපි ගත හැකි ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව සුරක්ෂිතයි. සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා මේ සුන්දර දිවයිනට එන්නැයි අපි ලෝකය පුරා සිටින සියලුම සංචාරකයන්ට ආරාධනය කරනවා.

කෝවිඩ් වසංගතය පැමිණීමට පෙර අපේ රටට ජාත්‍යන්තර ගුවන් සමාගම් 35ක් මගී මෙහෙයුම් සිදු කළා. ඒ සියලු ගුවන් සමාගම් අප සමග යළි වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. අපි දෛනිකව ගුවන් මෙහෙයුම් 80ක් පමණ සංඛ්‍යාවක් කටුනායක ගුවන්තොටුපොළ තුළ සිදු කළා.
ලෝකයේම ක්‍රියාත්මක නව සාමාන්‍යකරණ වැඩපිළිවෙළ යටතේ එවැනි තත්වයකට පැමිණීමට ටික කාලයක් යාවි. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් එය සිදුවේවි යැයි අපි අපේක්ෂ කරනවා. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීමත් මාස 06, 07ක් යනකොට යථා තත්වයට පත්වේවි යැයි අපි අපේක්ෂා කරනවා. රජයේ ඉලක්කය කෝවිඩ්-19 වසංගතය රට තුළ පැතිරීමට පෙර තිබූ තත්වයටත් වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි. ඒකට කාලයක් ගතවේව්" යනුවෙන් සඳහන් කළේය.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තේමිය අඹේවික්‍රම, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පී.ඒ. චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.


- නවෝද්‍යා පවනි -