“ජනාධිපතිතුමා අවසර දෙනවා නම් දවස් පහෙන් පොන්නි සම්බා ගෙනැවිත් කිලෝව රුපියල් අසූපහට දෙන්න
පුළුවන්. මට බැන්නත්, කාටූන් ඇන්දත් අපි එහෙම කරන්නේ නැහැ. අපි ඉන්නේ ජාවාරම්කරුවන්ගේ පැත්තේ
නෙවෙයි. ලක්ෂ ගණනක් වූ අපේ ගොවි ජනතාවගේ පැත්තේ, තව අවුරුදු තුනක් යනතුරු හාල් මිල රුපියල්
සියයට අඩුවෙන් දෙන්න පෙබරවාරි මාසයේ සිට මිල ස්ථාවර කරනවා” යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය
බන්දුල ගුණවර්ධන පැවැසීය.


“පසුගිය ආණ්ඩුව ලෝකයෙන් ණය අරගෙන වෙසක් කූඩුව, හදුන්කූරු ඇතුළු හැම භාණ්ඩයක්ම වක්කඩ කැඩුවා
වගේ ගෙනාවා” යැයිද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව කීය.

බළපිටිය ප්‍රධාන සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න ශ්‍රී සාලිය මැන්දිස් මහතාගේ
ප්‍රධානත්වයෙන් බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණි.

එහිදී ඒ මහතා මෙසේ ද කීය.

“ඉතිහාසයේ නොවූවිරූ ලෝක ව්‍යසනයකට රට මුහුණ දුන්නා. ප්‍රංශය, රුසියාව, ඇමෙරිකාව, ඉන්දියාව
වගේ රටවල්වල දහස් ගණන් මැරෙනවා. පසුගිය ආණ්ඩුව තිබුණා නම් අපේ රටත් ඇමෙරිකාව වගේ වෙනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, විවිධ සංවිධාන එකතු කරගෙන මරණ
සංඛ්‍යාව තුන්සියයට අඩුවෙන් බේරගෙන තිබෙනවා. සහරාන් විසින් අන්තවාදී බීජ වපුරවලා පාස්කු ඉරිදා
මරාගෙන මැරෙන බව ආණ්ඩුව දැනගෙන හිටියා. සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්ලා පවා දැනගෙන
සිටියා. දෙසිය විසිහතක් මරා දමපු ත්‍රස්තවාදීන්ට කෙළිමඬලක් හදලා දුන්නේ යහපාලනයයි. එයට
ආණ්ඩුවට කිසිසේත් සමාවක් දෙන්න බැහැ. අද කතා කරන විපක්ෂයේ මන්ත්‍රිවරු විවිධ අසත්‍ය ප්‍රචාර
කරනවා.

සජිත් ප්‍රේමදාස ඇතුළු කැබිනට් මණ්ඩලය වාර්තා පිට වාර්තා තැබුවා. රටේ ආර්ථික වර්ධන වේගය
අවුරුද්දෙන් අවුරුද්දට පහළට ගෙනාවා. නිදහසෙන් පස්සේ කිසිම ආණ්ඩුවක් එහෙම වුණේ නැහැ. කර්මාන්ත
සියල්ල කඩා වැටුණා. බල්ලකුටවත් කන්න බැරි කජු පවා ගිය ආණ්ඩුව පිටරටින් ගෙනාවා. අද කජු,
ගම්මිරිස්, උදු, ගෙන්වීම නතර කර තිබෙන්නේ. දැන් හදුන්කූරු අපේ රටෙන් හ¾දුන්කූරු ජාත්‍යන්තර
වෙළෙඳපොළට යවන පරිවර්තනයක් වෙනවා.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය නිමා වුණාට පස්සේ කඩිගුලක්
වගේ ඇවිස්සිලා රට වැඩ බිමක් කළා.

මහින්ද මහත්තයා හම්බන්තොට වරාය හැදුවේ කාටවත් දෙන්න නොවෙයි. රට පැත්තේ හිටගත්ත හැටනව
ලක්ෂයක ජනතාවට වැරැදි මත දීලා කූට ආණ්ඩුවක් පිහිටුවා ගන්න සමහරු හදනවා. කැබිනට් ඇමැතිවරු
විල්පත්තු වන විනාශයට වැරැදිකාරයෝ වෙලා තිබියදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වන විනාශය කළා කියලා
කියනවා. අලුතෙන් ගස් සිටුවන්න කියලා රිෂාඩ් බදියුදීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ අයට අභියෝග කරනවා චීනයට හම්බන්තොට වරාය දෙනවිට එක වචනයක්
කතා කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා. එම්.සී.සී. ගිවිසුමට විරුද්ධව මේ අය එක වචනයක් කතා
කළාද? මුළු රටම විරුද්ධ වෙද්දී සිංගප්පූරුව සමඟ ගිවිසුම් අස්සන් කළා. එය යළි සමාලෝචනය කරන්න,
කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කළා. කිසිම ගිවිසුමකට එළඹෙන්නේ නැහැ.

සක්විති රජකම ලැබුණත් ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාවා දෙන්නේ නැහැ. මුළු ලෝකයේම දුප්පත්කම,
මන්දපෝෂණය වැඩිවෙද්දී ජනතාවට බදු සහන පැකේජයක් දුන්නා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගන්න බැරිව
මිනිස්සු වස බිව්වා. ඒ අයටත් ණය සහන පැකේජයක් දුන්නා. සියයට විසිඅටට තිබුණු පොලී අනුපාතය තනි
ඉලක්කමට ගෙනාවා. කොවිඩ් නොතිබුණා නම් රැකියා ලක්ෂය දීලා ඉවරයි. සම්මතයක් තිබුණා කොට අදින
අලි පෙරහරේ යන්නෙ නැහැ කියලා. කොට ඇද්ද හැම අලියෙක්ම පෙරහරේ ගෙනියනවා.”

අහුන්ගල්ල _ ඒ. සිවනෙත්ති