පසුගිය වසරේ ප්‍රේම ආරවුල් නිසා විවිධ පුවත් මැවූ ටෙලි නිළි වොල්ගා කල්පණී තරමක වෙනස් විදිහේ සෘජුව උත්තර සැපයූ සම්මුඛ සාකච්ඡාවක් පුවත්පතක පළව තිබෙනවා. එහි උපුටාගත් කොටස් පහතින්
 


ඔබේ පෞද්ගලික ජීවිතයට පසුගිය අවුරුද්දේ වුණේ මොකක්ද?

ඇත්තටම පොද්ගලික වශයෙනුත් යම් කිසි දේවල් වුණා. සමහර වෘත්තීන් වගේ නෙමෙයි අපේ වෘත්තිය. අපේ වෘත්තිය සහ ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් වගේ සියලු දෙනාට එතරම් හොදම කාලයක් නෙමෙයි පසුගිය අවුරුද්ද. අපේ වෘත්තියත් මිනිසුන් එක්ක ගැවසිලා කරන වෘත්තියක්. ඉතිං අපිට කර ගන්න බැරි වෙච්ච තැන් තිබුනා. සමහර රජයේ සේවකයන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ, සමහර කාර්යාලවල වැඩ කරන අයට ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ නිසා අපේ ගොඩක්ම අයගේ ජිවිතවලට යම් කිසි දේවල් දරා ගන්න වුණා. මම නම් ඕනම දෙයක් දරා ගන්න පුළුවන් කෙනෙක්. ඉති ඒ දේවලුත් දරාගෙන ජිවත්වුණා.


නැවතත් ආදරවන්තියක් වෙන්නේ නැද්ද?

මම ආදරේ කියන එක විශ්වාස කරනවා. දෙවියෝ,  බුදුන්වහන්සේ, ජේසුස් වහන්සේ සහ ස්වභාවධර්මය මම විශ්වාස කරනවා. හිතනවා මේ අවුරුද්දේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැති වෙයි කියලා. හිත කියන එක අමුතු දෙයක් නේ. නමුත් මම හිත හදා  ගන්නවා.


ආදරේ විශ්වාසයි, විවාහය අවිශ්වාසද?

විවාහය මම දැඩි ලෙස අවිශ්වාස කරනවා. විවාහය කියතන්නේ තනිකර බොරුවක්. ඒක මම ඕනම තැනක කෙලින් කියනවා. ඒක ලංකාවේ තියන බොරු සම්ප්‍රදායක්.  බොරුවට නීත්‍යනුකූල  විවාහයක්, බොරුවට කොළයක් ගන්නවා, ඒකේ නම් දෙකක් සහ බොරු අත්සන් දෙකක් තියනවා. හැබැයි ස්වාමිපුරුෂයාට වෙනම ගැහැනු ඉන්නවා. බිරිදට තවත් වෙනම පුරුෂයෝ ඉන්නවා. මම කියන්නේ මේක නෙමෙයි ආදරේ. ඒක කොළයට සීමා කරන්න බෑ. විවාහය මම විශ්වාස කරන්නෙම නැහැ.



මේ කාරණා නිසාද ලෝකයේ living together සංකල්පයක් නිර්මාණය වෙලා තියෙන්නේ?

මමත් සිංහල බෞද්ධ. මගේ තාත්තාගේ ගම මාතලේ. සමහර වෙලාවට මම මේ කියන කතාවට මිනිස්සු විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි එකට ජීවත් වෙලා අපි ගැළපෙනවාද නැද්ද කියන ඒක බලලා එකතු වෙන එක තමයි හොද කියලා මම විශ්වාස කරනවා. මොකද මගේ පෞද්ගලික අත්දැකීමෙන් මම දැකලා තියනවා ලස්සනට පෝරුවල, ලස්සනට පල්ලිවල විවාහ වෙච්ච මිනිස්සු උසාවියේ ඇතුළේ කුඩු දෙකකට වෙලා රංඩු කරනවා. එය මම ඇස් දෙකට දැකලා   තියනවා. මම කියන්නේ එහෙම විදවන්න ඕනේ නැහැ. ගැළපෙනවා නම් එකතු වෙලා ඉන්න පුළුවන්. නැත්තම් අයින්වෙන්න පුළුවන්. විවාහය කියන දේ මුලින්ම කර ගත්තාම වෙන්නේ අන්තිමට රංඩු වෙනවා, වන්දි ඉල්ලනවා, ලැජ්ජා වෙනවා. අපේ රටේ ගොඩක් දේ තුළ බොරුවනේ තියෙන්නේ. බොරුවට පෝරුවට නැගලා, කැන්ඩියන් එකක් ඇඅඳලා විවාහ  වෙන එක මම ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ.  සමහර දෙනෙක් හිතන්න පුළුවන් මගේ අත්දැකීම  නිසා කියලා. නමුත් එහෙම නෙමෙයි. හැබැයි මේ කිසිම දෙයක් ඇතුළු විශ්වාසය කියන දේ නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා ඒසංකල්පය ඇත්තටම වරදක් නැහැ. හැබැයි මගේ අම්මා තාත්තා වුණත් ඒ සංකල්පයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ ඒ අය හැදිච්ච විදිහත් එක්ක. හැබැයි මම හිතන්නේ ඒ දේ නිසා ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්.

-ඩිලාන් ක්‍රිෂාන්ත-