නාගරීක ප්‍රදේශවල මළ අපද්‍රව්‍යගෙන් 90%ක් පමණ සෘජුව භූගත ජලයට එක් වන බවට ජලසම්පාදන අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි එම අමාත්‍ය වාසුදේව නානායක්කාර  මහතා ප්‍රකාශ  කළේය. මෙම තත්වය යටතේ භූගත ජලයේ ගුණාත්මකභාවය බොහෝ සෙයින් පහළ බැස ඇති බවට නිරීක්ෂණය වන බවත්, ඒ අනුව එම තත්ත්වයට කඩිනමින් විසඳුම් ඉදිරිපත් කළ යුතුව ඇති බවත් හෙතෙම පැවසීය.  අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ජාතික මළ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ වැඩමුළුවකට කොළඹදී චිවෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,


“දැනට අපගේ පර්යේෂකයන් සොයාගෙන ඇති තොරතුරුවලට අනුව මළ අපද්‍රව්‍ය 90 'පමණ 
කෙලින්ම භූගත ජලයට එකතු වෙනවා. මේ සඳහා භූගත ජලය සුරක්ෂිත කිරීම ජලය ප්‍රතිනිර්මාණය කිරීම මළ අපද්‍රව්‍ය ඇති ජල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මෙය දැනටමත් අප ආරම්භ කර තිබෙනවා. මේ සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් අපි සකස් කරගෙන යනවා.  මේ අනුව ඉදිරියේදී නිවාස සැලසුම් සකස් කිරීමේ දී කර්මාන්ත ශාලා, හෝටල්, නිවාස ව්‍යාපෘති ඉදිකිරීමේදී අනිවාර්යයෙන්ම සම්පුර්ණ කළ යුතු අංගයක් ලෙස වඩාත් ක්‍රමවත් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩපිළිවෙළක් අපි හඳුන්වා දෙන්න කටයුතු කරගෙන යනු ලබනවා.


මෙම බැහැර කිරීම ක්‍රමවත් කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙළ සමගින් ජනතාව අනිවාර්යෙන් අනුගමනය කළ යුතු නිර්ණායකයන් සමග මෙම ජාතික වැඩපිළිවෙළ හඳුන්වා දීමට අප බලාපොරොත්තුවෙනවා. 
මෙය අපි හැම දෙනාම අවබෝධ කරගත යුතුයි. නැත්නම් තව අවුරුදු පහළොවක් යනකොට අපට බොන්න පිරිසුදු ජලය නැති වෙනවා. මේ ගැන අපි උනන්දු විය යුතුයි. භූගත ජලය ආරක්ෂා කරගත යුතුයි.

අද බොහෝ සෙයින් අපගේ ගංගා, ඇළ දොළවල්වලට නිවෙලින් බැහැර කරන අපද්‍රව්‍ය, මල අපද්‍රව්‍ය එකතු වෙනවා ගංගා ගලා ගෙන එන මාවතේ පිහිටි නගරවල සියලු අපද්‍රව්‍ය කානු මගින්  මෙම ගංගා, ඇළ දොළවලට හරවා තිබෙනවා.


මේ සියලු කුණු අපද්‍රව්‍ය ගංගා ඇළ දොළ, මහා සමුද්‍රය භාරගත යුතුයි යන මතය අපගේ ජන සම්ප්‍රදායේ තියෙනවා.   අපි විසිකරන ඉවත දමන හැමදේම දමන්නේ කානුවලට, ඇළ පාරට. මෙම ආකල්පය අප වෙනස් කරගත යුතුයි. මෙම අපද්‍රව්‍ය ක්‍රමානුකූලව තැත්පත් කර බැහැර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. එහි ඇති විෂ ඉවත් කිරීම අප කළ යුතුයි. මේ සම්බන්ධව ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතුයි මෙය අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක්.” යැයිද පැවසීය.


-නිදර්ශනී වික්‍රමසිංහ-