අද (ජනවාරි 20දා) ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනපතිවරයා ලෙස ධුරයට පත්වන ජෝ බයිඩන් සිය පරිපාලන කටයුතු වඩාත් සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරගෙන ඇති සහ නම් කළ නිලධාරීන් අතරින් 20 දෙනෙකුම ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකාවේ වෙසෙන පිරිස් බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අතරින් 13 දෙනෙකුම කාන්තාවන් වීමත් විශේෂත්වයකි.

මේ අතරින් බයිඩන් සිය ධවල මන්දිරයේ කාර්යාල කළමනාකරණය සහ අය වැය පිළිබඳ අධ්‍යක්ෂ ධුරය සඳහා නම් කර ඇත්තේ ඉන්දියානු සම්භවයක් සහිත 50 හැවිරිදි නීරා ටන්ඩෙන්ය. ඉන්දියාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ මවුපියන් දෙපළකට දාව ඉපැදුණු ඇය ඇමෙරිකානු සෞභාග්‍යය සඳහා වූ මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායකවරියක ලෙස කටයුතු කරයි.

45 හැවිරිදි වනිතා ගුප්තා බයිඩන්ගේ අධිකරණ දෙපාර්තමේන්තුවේ සහකාර නීතිපති ජනරාල්වරිය ලෙස නම් කර ඇත. ඇය එම තනතුරට පත්වුවහොත්, එම ධුරයට පත්වන පළමු සුදු ජාතික නොවන කාත්තාවද ඇයයි. ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ උපත ලැබූ විවේක් මූර්ති ට්‍රම්ප්ගේ මහජන සෞඛ්‍ය සේවා කොමිසමේ ප්‍රධානියා ලෙස නම් කෙරී ඇත. බයිඩන් ආර්යාවගේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂිකාව ලෙස පත් කර ඇත්තේ ඉන්දියානු ජාතික මාලා අඩිගාය. එසේම 32 හැවිරිදි සබ්‍රිනා සිං ජනපති ආර්යාවගේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම්වරිය ලෙස පත් කර ඇත.

එසේම ධවල මන්දිල්රයේ ඩිජිටල් ක්‍රමෝපාය කාර්යාලයේ හවුල්කාරීත්ව කළමනාකරු ලෙස අයිෂා ෂා පත් කෙරී තිබේ. ධවල මන්දිරයේ එක්සත් ජනපද ජාතික ආර්ථික කවුන්සිලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය සඳහා භාරත් රාමමූර්ති නම් කෙරී ඇත.

ඉන්දියාවේ උපත ලැබූ ගෞතම් රාසවන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇත. ඔහු ඔබාමා පරිපාලනයේද එම ධුරය දැරුවේය.

බයිඩන්ගේ කතා රචනා කිරීමේ අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත්තේ තවත් ඉන්දියානුවෙකු වන විනේ රෙඩ්ඩිය. ජනාධිපතිවරයාගේ සහකාර මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ ගුජරාටයේ උපත ලැබූ වෙඩාන්ට් පටෙල්ය.

මීට අමතරව වරුන් චාහ්බීරා, සුමෝනා ගුහා, ෂාන්ති කලාතිල්, සෝනියා අස්‍රාවාල්, විදුර් ෂර්මා, නේහා ගුප්තා සහ රිමා ෂා යන පිරිස බයිඩන්ගේ නව පරිපාලනය යටතේ පත්කෙරුණු සහ නම් කෙරුණු අනෙකුත් ඉන්දියානු - ඇමෙරිකානු ජාතිකයන් වෙයි.

මේ අතර බයිඩන්ගේ උපජනාධිපතිය ලෙස තේරීපත්ව සිටින කමලා හැරිස් ද ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකානු පුරවැසිභාවය හිමි තැනැත්තියකි.